නව බදු පනතින්, විශය භාර ඇමතිට අත්තනෝමතික බලතල..? චෝදනා
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) තුන් වන දිනටත් පැවැත්වුණි.
විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම විභාගය පැවැත් වුණි. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 10ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
සුරාබදු පරීක්ෂකවරුන් ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සුරා බදු සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුරාබදු පනත මගින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බලතල මෙම පනත් කෙටුම්පත මගින් අහිමිකර ඇති බවට චෝදනා කළේය. මෙහි බදු ගෙවන භාණ්ඩ සහ සේවා කවරේද යන්න පවා තීරණය කිරීමේ සහ බදු අයකිරීම් සිදුකිරීමට තමන් කැමති පුද්ගලයන් පත්කිරීමේ බලය ඇමැතිවරයාට පැවරීම මගින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලැබෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල කප්පාදුකර එය එක් ඇමැතිවරයකුට පැවරීම මෙම පනත් කෙටුම්පත මගින් සිදුවන බවත් ඔහු චෝදනා කළේය. ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් තැබුණි. පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල කප්පාදුවීමක් සිදුකරන බවය. එමෙන්ම අදාළ පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලය පැවරීමක් සිදුවන බවත් ඔවුන් චෝදනා කළේය.
එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මතකොට ඒවා ජනමතවිචාරණයකින් ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |