ඩෙංගු මරණවලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් - වෛද්‍ය උපදෙස් ප්‍රමාද නොකරන්නැයි ඉල්ලීමක්
මෙරට වාර්තා වී ඇති ඩෙංගු මරණ අතරින් බහුතරය කාන්තාවන් බව අනාවරණය වී ඇති බැවින්, රෝග ලක්ෂණ මතු වූ වහාම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ 53න් 37ක්ම කාන්තාවන් බවයි.
කාන්තාවන් අතර ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ, රෝගී තත්ත්වයට පත්වූ පසු ප්‍රමාණවත් විවේකයක් ලබා නොගෙන නිවසේ දෛනික කටයුතුවල නිරත වීම බවයි.
ඩෙංගු රෝග ලක්ෂණ ඇති වූ විට සම්පූර්ණ විවේකය ලබාගැනීම අත්‍යවශ්‍ය වන නමුත්, ඇතැම් පිරිස් රෝගී තත්ත්වය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද වන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
එම ප්‍රමාදය හේතුවෙන් රෝගය උත්සන්න වී අක්මාව සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි බරපතළ සංකූලතා ඇතිවිය හැකි බවත්, එවැනි අවස්ථාවල රෝගියා යථා තත්ත්වයට පත් කිරීම අපහසු වන බවත් ඔහු අවධාරණය කරයි.
ඩෙංගු සඳහා අත්බෙහෙත් භාවිතයෙන් වළකින්න
ඩෙංගු රෝගී තත්ත්වයකදී පාරම්පරික ඖෂධ හෝ අත්බෙහෙත් භාවිත කිරීම අවදානම් සහගත බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙයි.සාමාන්‍ය රෝග තත්ත්වයන් සඳහා ඇතැම් පාරම්පරික ප්‍රතිකාර යොදාගත හැකි වුවද, ඩෙංගු වැනි බරපතළ රෝගයකදී වෛද්‍ය උපදෙස් නොමැතිව එවැනි ප්‍රතිකාරවලට යොමුවීම සුදුසු නොවන බව ඔහු සඳහන් කළේය.
ගස්ලබු කොළ යුෂ, විවිධ ශාක කොටස් තම්බා පානය කිරීම වැනි ක්‍රම අනුගමනය කර රෝගය උත්සන්න වූ පසු රෝහල්ගත වන රෝගීන් සුවපත් කිරීම වඩාත් අපහසු වන බවද ඔහු පැවසීය. ඩෙංගු සැකයක් ඇති විට උණ අඩු කිරීම සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කරන ලෙසත්, වෙනත් ඖෂධ භාවිත කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.
ඩෙංගු රෝගීන් 74,478ක්
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,478කි. ඉන් ජූලි මාසයේ ගතවූ දින 17 තුළ පමණක් රෝගීන් 19,100ක් වාර්තා වී ඇති අතර, පසුගිය පැය 24 තුළ නව රෝගීන් 843ක් වාර්තා වී තිබේ.
ඩෙංගු ව්‍යාප්තියේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, තත්ත්වය තවමත් අවදානම් මට්ටමක පවතින බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය. ඒ අනුව, විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, ජනතාව තම අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීමට සහාය විය යුතු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
ඩෙංගු රෝග ලක්ෂණ පවතින ඕනෑම පුද්ගලයෙකු දින දෙකක් ඇතුළත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවී උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්නා ලෙසද එම ඒකකය වැඩිදුරටත් ඉල්ලා සිටී.