ආණ්ඩුවේ අධිකරණ බලපෑමට එරෙහිව සියලු දේශපාලන බලවේග එක පෙළට - විමල්ගෙන් රතු එළියක්
වත්මන් ආණ්ඩුව විසින් අධිකරණ පද්ධතිය තම පාලනය යටතට ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (23) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණයේ ස්වාධීනත්වය යළි තහවුරු කිරීම සියලු දේශපාලන බලවේගවල පොදු අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවයි.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවක් කටයුතු කළ ආකාරය අයහපත් ක්‍රියාවක් ලෙස සලකන්නේ නම්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගන්නා උත්සාහය ඊටත් වඩා අශෝභන ක්‍රියාවක් බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් විපක්ෂ නායක කාර්යාලය වෙත එක්වීමට හේතු වූයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැත්විණි.