පළාත් සභා ඡන්දය 2027දීවත් තියයිද? - පැෆරල්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු කිහිපයක්ම වගකිව යුතු වුවද, එහි වගකීම වත්මන් ආණ්ඩුවට පැවරිය නොහැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවට බලයට පත්වීමෙන් පසු සාධාරණ කාලයක් ලැබී ඇති බැවින් තවදුරටත් පළාත් සභා මැතිවරණය කල් නොදමා ඒ සඳහා අවශ්ය තීරණ කඩිනමින් ගත යුතු බව ඒ මහතා අවධාරණය කළේය.
පැෆරල් සංවිධානය පැවැත්වූ මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
වසර ගණනාවකින් පළාත් සභා මැතිවරණයක් පවත්වා නැහැ
පළාත් සභා මැතිවරණය මීට පෙර ද පළාත් කිහිපයක අදියර වශයෙන් පවත්වා ඇති බව පෙන්වා දුන් රෝහණ හෙට්ටිආරච්චි මහතා, නැගෙනහිර සහ උතුරු මැද වැනි පළාත්වල අවසන් වරට මැතිවරණ පැවැත්වූයේ 2012 වසරේදී බව සඳහන් කළේය.
ඒ අනුව, එම ප්රදේශවල ජනතාවට වසර ගණනාවක් තිස්සේ පළාත් සභා මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාවක් ලැබී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
2017 වසරේදී ගෙන ආ නීතිමය සංශෝධන හා ඒ ආශ්රිත ක්රියාමාර්ග හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්රමාද වූ බවත්, ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු කිහිපයක්ම සාධාරණ මැදිහත්වීමක් සිදු නොකළ බවත් ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුවට ලැබුණු කාලය ප්රමාණවත්
වත්මන් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනය තුළ පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ලබාදී තිබූ බව සිහිපත් කළ හෙට්ටිආරච්චි මහතා, පළාත් පාලන මැතිවරණය පැවැත්වුවද පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ප්රමාණවත් දේශපාලන උනන්දුවක් තවමත් දක්නට නොලැබෙන බව සඳහන් කළේය.
ආණ්ඩුවට ආරම්භක කාලයේදී අනපේක්ෂිත අභියෝගවලට මුහුණදීමට සිදුවූ බව පිළිගත හැකි වුවද, එම කාලය මේ වන විට අවසන් වී ඇති බව නිරීක්ෂණ සංවිධානයක් ලෙස තමන්ගේ අදහස බවද ඔහු පැවසීය.
මැතිවරණ ක්රමය තීරණය කිරීමට පත් කළ කමිටුවත් ප්රමාදයි
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්රමවේදය තීරණය කිරීම සඳහා 2025 මාර්තු 17 වැනිදා කමිටුවක් පත් කර ඇති බවත්, මුලදී මාස තුනක කාලයක් සඳහා පත් කළ එම කමිටුවේ කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කර ඇති බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
පැරණි සමානුපාතික නියෝජන ක්රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතුද, නැතහොත් සීමා නිර්ණය සම්බන්ධ ගැටලු හේතුවෙන් ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇති මිශ්ර සමානුපාතික ක්රමය යටතේ පැවැත්විය යුතුද යන්න තීරණය කිරීම කමිටුවේ ප්රධාන වගකීම බව ඔහු පෙන්වා දුන්නේය.
මේ සඳහා සාධාරණ කාලයක් ලබාදී ඇති බැවින් තවදුරටත් කාලය දිගු කිරීම වෙනුවට සෘජු තීරණයක් ගැනීම අවශ්ය බවද ඔහු අවධාරණය කළේය. “වැඩක් කරන්න ඕනෑ නම් ඒ වැඩේ කරන්න ඕනෑ. වැඩේ කල් දාන්න ඕනෑ නම් කමිටුවක් පත් කරන්න ඕනෑ කියලා කියමනක් තියෙනවා” යනුවෙන් සඳහන් කළ ඔහු, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් ප්රමාද නොවිය යුතු බව පැවසීය.
මැතිවරණ කොමිසමේ මැදිහත්වීම අගයයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ තාක්ෂණික හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සාධනීය මැදිහත්වීම් සිදුකර ඇති බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේය. මැතිවරණය පැරණි සමානුපාතික ක්රමය යටතේ පවත්වන්නේ නම් කාන්තා නියෝජනය තහවුරු කිරීම ඇතුළු කරුණු සැලකිල්ලට ගත යුතු බවත්, මිශ්ර සමානුපාතික ක්රමය යටතේ පවත්වන්නේ නම් කාන්තා හා තරුණ නියෝජනය ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම මැතිවරණ ක්රමය පිළිබඳ අවසන් තීරණයකට එළඹීමේදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂවල අදහස් හා එකඟතාවද සැලකිල්ලට ගැනීම වැදගත් බව ඔහු පැවසීය.
විදෙස්ගත ශ්රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ හෙට්ටිආරච්චි මහතා, විදේශ රැකියාවල නිරත වෙමින් රටට විදේශ විනිමය උපයා දෙන ශ්රී ලාංකිකයන්ටද රටේ පාලනය තීරණය කිරීමේ ප්රජාතන්ත්රවාදී ක්රියාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිවිය යුතු බව සඳහන් කළේය. විදෙස්ගතව සිටින ශ්රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
2027 මුල් භාගයේදී මැතිවරණය පැවැත්වීමට හැකියාවක්
අදාළ කමිටුව සහ ආණ්ඩුව කඩිනමින් තීරණ ගන්නේ නම් 2027 වසරේ මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් තීරණ ගැනීම තාක්ෂණික කාරණයක් පමණක් ලෙස සලකා දිගින් දිගටම කල් දැමීම වෙනුවට, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්ය පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කළේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම දේශපාලන පක්ෂවලට මහජන විශ්වාසය දිනාගැනීමටද වැදගත් අවස්ථාවක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.