නව විවාහා රෙගුලාසි වෙනස් වන ලකුණු - අධිකරණයට පෙත්සමක්..හේතුව..?

sri lanka wedding WMMB weerasekara KamalGunarathna SH munasinghe
By Sewvandhi Jan 19, 2022 02:44 PM GMT
Report

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශීය පුරවැසියන් සමග විවාහයන් සිදු කරගැනීමේ දී පනවා ඇති නව රෙගුලාසියක් බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

එවැනි විවාහයකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිෂ්කාසන වාර්තාවක් ලබා ගතයුතු බවට එම නව රෙගුලාසිය පනවා ඇත. නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පිළිගෙන ඇති අයිතියක් ලෙස සෑම පුද්ගලයෙකුටම කැමති ඕනෑම පුද්ගලයකු සමග විවාහ වීමට නිදහස පවතින බවය.

තමන් ශ්‍රී ලංකාවේ විදේශීය පුරවැසි කාන්තාවක සමග විවාහ වී සිටින බවද සිය බිරිඳ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවද පෙත්සම්කරු පවසයි. සිය බාලවයස්කාර දරුවන් දැනට විදේශ පුරවැසියන් වන බවද පෙත්සමෙන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලාංකිකයින් හා විවාහවීමට අදහස් කරන විදේශිකයන් විවාහ ලියාපදිංචියට පෙර තම විවාහය ලියාපදිංචි කිරීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස “ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක්” ලබාගත යුතු බවට ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා චක්‍රලේඛයක් නිකුත් ඇති අතර මෙම රෙගුලාසිය ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙයි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝග නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now