අද සවස දිස්ත්‍රික් කිහිපයකට වැසි සහිත කාලගුණයක්..
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි පැවසෙන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අදත් (14) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
මෙහිදි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි.