ජල නිෂ්පාදන පිරිවැය අඩු කිරීම වෙනුවට ජල බිල් වැඩිකරලා
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකර, ජල ගාස්තු ඉහළ නැංවීම ප්‍රධාන විසඳුම ලෙස යොදාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විශේෂ විගණනයකදී අනාවරණය වී තිබේ.
විගණන වාර්තාවේ සඳහන් වන්නේ, තෝරාගත් පාරිභෝගික කාණ්ඩවලට අසාමාන්‍ය ලෙස ජල බිල්පත් ඉහළ දැමීම වෙනුවට, සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ජල ගාස්තු ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවයි.
එමෙන්ම, අමාත්‍ය මණ්ඩලය විසින් 2024 වසරේ අනුමත කළ ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ ගාස්තු ගණනය කිරීමේ සූත්‍රය පදනම් කර ගනිමින් නියමිත කාලසීමාවන් තුළ ජල ගාස්තු සමාලෝචනය කිරීමට පියවර ගත යුතු බවද විගණනය නිර්දේශ කර ඇත.
විගණන වාර්තාවට අනුව, පසුගිය වසරවල ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මුහුණ දුන් අඛණ්ඩ මෙහෙයුම් අලාභ සහ ණය වාරික පියවීම සඳහා ජල ගාස්තු ඉහළ නැංවීම ප්‍රධාන ක්‍රියාමාර්ගය ලෙස භාවිත කර තිබේ.
2022 සහ 2023 වසරවල සිදුකළ ජල ගාස්තු සංශෝධනවල ප්‍රතිඵලයක් ලෙස, ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ වැඩිම පිරිසක් අයත් වන කාණ්ඩවල ජල බිල්පත්, 2012 වසරේ පැවති ගාස්තු සමඟ සැසඳීමේදී සියයට 70ක සිට සියයට 100ක දක්වා ඉහළ දමා ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
තවද, මණ්ඩලයේ සේවක පිරිවැය මෙහෙයුම් පිරිවැයෙන් සියයට 36ක් නියෝජනය කරන අතර, එය ජල ගාස්තු කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සාධකයක් බවද විගණනයෙන් අනාවරණය කර ඇත.
මීට අමතරව, ජල ව්‍යාපෘති නියමිත කාලසීමාවන් තුළ අවසන් නොවීම, සැලසුම් කළ ජල සැපයුම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම, අපේක්ෂිත ආදායම් අහිමි වීම, ව්‍යාපෘති පිරිවැය ඉහළ යාම සහ බලශක්ති පිරිවැය අවම කිරීම සඳහා සැලසුම් කළ ව්‍යාපෘති ප්‍රමාද වීමද ජල ගාස්තු ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතු ලෙස විගණන වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව, ජල ගාස්තු සංශෝධනය කිරීමේදී පාරිභෝගිකයන්ට සාධාරණත්වය සහ විනිවිදභාවය තහවුරු කරන ක්‍රමවේදයක් අනුගමනය කිරීම මෙන්ම, ජල නිෂ්පාදන හා මෙහෙයුම් පිරිවැය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.