ජල ගාස්තු සඳහා අලුත්ම සූත්‍රයක්

Sri Lanka Water Cut Water Board
By Sewvandhi Aug 04, 2023 08:22 AM GMT
Report

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ, ඉදිරි මාස කිහිපය තුළ ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට කටයුතු කරන බවයි.

ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් ද හඳුන්වා දීමට නියමිත බවයි, අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර මහතා පවසනවා.

මෙවර සිදුවූ ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේ දී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බවයි.

ජල ගාස්තු සංශෝධනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූ බව ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර මහතා අවධාරණය කරයි.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ආයෝජන පිරිවැය, මුදල් අවප්‍රමාණය වීම සහ පොලී අනුපාත ඉහළ නැංවීම, ජල පිරිපහදු කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ඇතුළු කරුණු හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට මාසිකව රුපියල් බිලියන 2.3ක පමණ පාඩුවක් සිදුවන අතර, ජල ගාස්තු වැඩිවීමක් නොවුණහොත් වාර්ෂික පාඩුව රුපියල් බිලියන 34ක් පමණ වන බවයි.

ජල ගාස්තු ඉහළ දැමීමෙන් පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමට, යටිතල පහසුකම් සදහා ආයෝජනය කිරීමට, සේවා සැපයීම වැඩි දියුණු කිරීමට සහ වර්තමාන හා අනාගත පරම්පරාව සඳහා පානීය ජලය ලබා ගැනීම සහතික කිරීමට අවශ්‍ය සම්පත් සුරක්ෂිත කළ හැකි බව ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

මේ අතර, අගෝස්තු මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණ ද ඊයේ (03) දිනයේ සිට ඇතැම් ප්‍රදේශවලට නව ජල ගාස්තුවට අදාළ බිල්පත් ලැබී ඇති බව ජල පාරිභෝගිකයෝ ප්‍රකාශ කළහ.

මේ සම්බන්ධයෙන් අද දෙරණ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් විමසීමක් කළ අතර, එහි දී නිලධාරියකු සදහන් කළේ, මේ සම්බන්ධයෙන් තමන්ට ද තොරතුරු වාර්තා වී ඇති බවය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් මේ වන විට ජල සම්පාදන මණ්ඩලය විසින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කරයි. පසුගිය වසරේ ජල ගාස්තු සංශෝධනයේ ද මෙවැනි ආකාරයේ ගැටලුවකට මණ්ඩලයට මෙන්ම පාරිභෝගිකයින්ට ද මුහුණ පෑමට සිදුවූ අතර, ඊට හේතු වූයේ සංශෝධිත ගාස්තු දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය බව ද එම ප්‍රකාශකයා අවධාරණය කළේය.