වාසුත් ඇමති ධූරය හැරයයි?..තවත් ප්‍රබලයින් රැසක් ගැන ගන්න යන තීරණ මෙන්න.

Udaya gammanpila Wimal weerawansa Wasudeewa nanayakkara
By Aruna Mar 03, 2022 11:04 PM GMT
Report

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

බොහෝ විට ඒ සම්බන්ධ අවසන් තීරණය ඊයේ(03) රාත්‍රියේ හෝ අද (04) දිනය තුළ දී අමාත්‍යවරයා විසින් ගනු ඇති බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙර ද මතභේදයට තුඩු දුන් කෙරවලපිටිය විදුලි බලාගාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුවේදීත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සමග අමාත්‍ය වාසුදේව නානායක්කාර ද විරෝධතා ගොනුකළවුන් අතර සිටියා.

මේ අතර ඊයේ සවස සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේ තවත් දිගුවක් ඇති බව ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව බොහෝවිට කෘෂිකර්ම සහ ඉඩම් යන කැබිනට් අමාත්‍ය ධුරයන් ද වෙනස් වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, කෘෂිකර්ම අමාත්‍ය ධුරයටත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉඩම් අමාත්‍ය ධුරයටත් පත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවටත් වාර්තා වනවා.

මේ අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වී විරෝධය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් එම උත්සාහයට පක්ෂය තුළ ඇතැම් කොටස් විරුද්ධ වීම හේතුවෙන් එම පියවර තරමක් පසුබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයට විරෝධය දක්වමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සූදානම් වුව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම තවත් කැබිනට් අමාත්‍යවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා එම යෝජනාවට විරෝධය පළ කිරීම හේතුවෙන් මේ වන විට පක්ෂය තුළ මෙම තීරණය සම්බන්ධයෙන් බෙදීමක් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර වැනි නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පසු ගිය දින කිහිපය මුළුල්ලේම රජයට ඇති සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළ කළ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් යෑමට සූදානම් බවයි.

පෙරේදා (02) දින ආණ්ඩුව හරි මගට ගැනීම සදහා පැවැත්වූ සමුලුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටි අතර ඔහු එහිදී ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් කතාවක් ද කළා.

මේ අතර මෙම සමුළුවට එක්වූ පොහොට්ටු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව තවදුරටත් ප්‍රේම්නාත් දොලේවත්ත ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් සඳහා එක්කර නොගැනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now