වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka SL Protest Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Nov 17, 2022 02:39 AM GMT
Report

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වහාම ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම සංවිධානය කියා සිටින්නේ තවදුරටත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වහාම නතර කළ යුතු බවයි.

ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගී වන පුද්ගලයින් අපරාධකරුවන් ලෙස සැලකීමට ත්‍රස්ත විරෝධී නීති භාවිත නොකළ යුතු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට පියවර ගත යුතු බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

මේ අතර රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොමිපඤ්ඤවීදිය පොලීසියට අවසර ලබාදී තිබේ.

පසුගිය අගෝස්තු 19 වනදා සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් නම් කිරීමට අවසර ඉල්ලා සිටි පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලීසියට අවසර ලබාදුන් බව වාර්තාකරු සඳහන් කළේය. වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now