මිනිසාට තර්ජනාත්මක වෛරස් ප්‍රභේද ගැන අනතුරු ඇඟවීමක්...200ක් හදුනා ගැනේ.

covid19
By Kanagasooriyam Jan 06, 2022 10:54 PM GMT
Kanagasooriyam

Kanagasooriyam

in ලෝකය
Report

මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් වියහැකි රෝග ඇතිකරන වෛරස විශේෂ, ඉදිරියේදී තව තවත් මතුවිය හැකිබව මහාචාර්ය යොන් "යාක්ස් මුයෙඹේ ටාම්ෆම්" පවසයි. මධ්‍යම අප්‍රිකානු රටවලට තර්ජනයක් වී ඇති ඉබෝලා වෛරසය සොයාගනු ලැබුවේ මහාචාර්ය ටාම්ෆම් විසිනි. ඒ, 1976 දීය. එතැන් සිට මිනිසාට අහිතකර රෝග මතුකළ හැකි වෛරස ප්‍රභේද සොයා ඔහු විසින් විවිධ පර්යේෂණ සිදුකරයි.

මේ වනවිට කොංගෝ රාජ්‍යයේ අගනගර ය වන කින්ශාසා හි පර්යේෂණ සිදුකරන මහාචාර්යවරයා පැවසුවේ, "සතුන්ගෙන් තවත් බොහෝ රෝග මිනිසාට සම්ප්‍රේෂණය විය හැකියි," යනුවෙනි. එච් අයි වී චිම්පන්සි විශේෂයකින් ඇති වී මේ වනවිට මිනිස් වර්ගයා භීතියට පත්කර තිබේ. එසේම සාර්ස්, මර්ස්, සහ කොවිඩ් -19 ඒ ආකාරයට සත්ත්ව විශේෂවලින් සම්ප්‍රේෂණය වූ රෝග ලෙස හඳුනාගෙන ඇත.

කොවිඩ් -19 චීනයේ වූහාන් නම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම වෛරසය වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වී ඇතැයි සඳහන් වේ. සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු ආසාදනය ලෙස සැලකෙන්නේ, 1901 දී හඳුනාගත් කහ උණ ය. එතැන් සිට මේ දක්වා මිනිසුන් ට රෝග ඇතිකරන වෛරස වර්ග 200ක් පමණ හඳුනාගෙන ඇත.

විශේෂඥයින් පවසන්නේ පරිසර විනාශය සහ "වන සත්ත්ව විශේෂ" වෙළෙඳාම් කිරීම හේතුවෙන් ඒ ආකාරයට වෛරස විශේෂ මතුවන බවයි. ස්වභාවික වනාන්තර විනාශ වනවිට විශාල සත්ත්ව විශේෂ ද එම කලාපවලින් තුරන් වී යයි. නමුත් මීයන්, වවුලන් සහ කෘමි විශේෂ බේරෙයි. එවැනි සත්ත්ව විශේෂ මිනිසා සමගම එම පරිසරයේ ජීවත් වෙයි. එවැනි සත්ත්ව විශේෂ හේතුවෙන් විවිධ රෝග මිනිසාට බෝවන බව පිළිගත් මතය වේ.

දැනට සිදුවන වේගයෙන්, වනාන්තර විනාශය සහ ජනගහන වර්ධනය සිදුවුවහොත් මෙම ශත වර්ෂය නිමවීමට පෙර ලෝකයේ වැසි වනාන්තර බහුතරයක් විනාශ වියහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ හේතුවෙන් සත්ත්ව විශේෂ සහ වෛරස මිනිස් වර්ගයා සමග ගැටෙනු ඇත. එම ඝට්ටනය බොහෝදුරට භයංකාර වනු ඇත.