අගෝස්තු මැද දක්වා ඩෙංගු අවදානම ඉහළ මට්ටමක පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්

Dengue Prevalence in Sri Lanka Weather Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 16, 2026 04:58 AM GMT
Report

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් එළැඹෙන අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනතුරු අඟවයි.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන මර්ධන වැඩසටහන්වලට උපරිම සහාය ලබාදෙන ලෙසත්, නිවෙස්, පාසල් සහ සේවා ස්ථාන අවට පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන පරිදි පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසත් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් අද (16) සිට දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, ඉදිරි සති දෙකක කාලය තුළ අදාළ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඩෙංගු ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ හඳුනාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස සඳහන් වේ.