මහනුවරට නව යුගයක් - Virtual City එකට අනුමැතිය

Kandy Sri Lanka Cabinet Economy of Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Aug 05, 2025 07:41 AM GMT
Report

අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය “Virtual City in Kandy” ලෙස නිර්මාණය කිරීමට තෝරාගෙන තිබේ.

මෙම නියමු ව්‍යාපෘතිය මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් දෙවන කොටස් ලෙස ඉදිරියට යාමට සැලසුම් කර ඇත.

පළමු කොටස යටතේ, මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණයන් සහ සංචාරක විභවයන් සහිත ස්ථාන 58ක් හඳුනාගෙන ඇති අතර, දෙවන කොටස ලෙස ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය හා ඒ ආශ්‍රිතව පවතින ඓතිහාසික හා සංචාරකමය වැදගත්කමකින් යුත් ස්ථාන 20ක් තාක්ෂණිකව අතත්‍ය ලෙස නිර්මාණය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය භාරව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ එම ආයතනය සතු තාක්ෂණික හැකියාවන්, ශක්‍යතාවන් සහ පූර්ව නිෂ්පාදන කටයුතු පිළිබඳව සිදු කළ ඇගයීමකින් අනතුරුවය.

මෙම ව්‍යාපෘතිය Clean Sri Lanka වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීමත්, යුනෙස්කෝ ලෝක උරුමයක් වන ශ්‍රී දළදා මාළිගාව ඇතුළු මහනුවර නගරයේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම ලොවට හඳුන්වා දීමත් අපේක්ෂා කෙරේ.