අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
සෑම පුරවැසියෙකුටම තමන්ගේම කියා වාහනයක් පාවිච්චි කළ හැකි රටක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාවට තමන්ගේම වාහනයකින් සතුටින් සහ පහසුවෙන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි පරිසරයක් සැකසීමට රජයක් ලෙස උපරිම සහයෝගය ලබාදෙන බවයි.
මීට වසර දෙකකට පෙර මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබූ නමුත්, කෙටි කාලයක් තුළ නැවතත් වාහන ආනයනය ආරම්භ කිරීමට රජය සමත් වූ බව අමාත්‍යවරයා මතක් කර දුන්නේය.
මේ වන විට සීමාවකින් තොරව ඕනෑම වර්ගයක වාහනයක් ගෙන්වීමට ඉඩප්‍රස්ථාව සලසා දී ඇති බවත්, මැදපෙරදිග පවතින අනපේක්ෂිත යුදමය වාතාවරණය හේතුවෙන් බදුවල යම් යම් සීමාවන් පැනවීමට සිදු වූ බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් එම සීමා කිරීම් තාවකාලික වන අතර, මැදපෙරදිග යුද තත්ත්වය අවසන් වූ වහාම එම තාවකාලික බදු සීමා කිරීම් අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.