වෛද්‍යවරු දෙදෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත් දරුවාට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි ...

Kalutara Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Oct 13, 2022 12:08 PM GMT
Report

අසනීප තත්ත්වයකට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ඖෂධ ලබාගත් 11 හැවිරිදි දරුවෙක් එම ඖෂධ විෂවීමෙන් මියගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තා විය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බේරුවල වලතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි විදූෂ රන්දුනු නමැති බේරුවල වලතර කනිෂ්ඨ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි.

එම දරුවා පසුගිය 10 වනදා උණ රෝගී තත්ත්වයකට බේරුවල අබේපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන තිබේ. ඉන්පසු සමෙහි ඇතිවූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් බේරුවල නගරයේ පිහිටි වෙනත් පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත එම දරුවාව පෙන්වා ප්‍රතිකාර ලබාදීමට එම දරුවාගේ මව්පියන් කටයුතු කර තිබුණි.

එම ප්‍රතිකාරවලින් ද සුවය නොලැබීම හේතුවෙන් දෙමව්පියන් තීරණය කර තිබුණේ දරුවාව යළිත් ප්‍රථමයෙන් ප්‍රතිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථානය වෙත රැගෙනයෑමටය. එහිදී තවත් ඖෂධ කිහිපයක් දරුවාට ලබාදී ඇති අතර දෙමව්පියන් සඳහන් කළේ දරුවාගේ රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න වූ බවය.

ඒ අනුව දෙමව්පියන් විසින් දරුවාව බේරුවල ප්‍රාථමික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දරුවාව භාරගැනීමට නොහැකි බව පවසා, කළුතර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කරන ලෙස උපදෙස් දී තිබේ.පසුව කළුතර ශික්ෂණ මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවා ඊයේ (12) සවස හදිසියේම මියගොස් ඇත.

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේදී මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම දරුවාගේ ශරීර කොටස් මේ වනවිටත් රසපරීක්ෂක වෙත යොමුකිරීමට ද රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. කෙසේවෙතත් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ එම දරුවාගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසට රැගෙනවිත් ඇති බව අප වාර්තාකරු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now