පූජ්ය හන්තානේ ධම්මගවේසී හිමිපාණෝ අමරපුර ශ්රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයට
රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති පූජ්ය හන්තානේ ධම්මගවේසී හිමිපාණන් වහන්සේ මහා විහාර වංශික ශ්රී ලංකා අමරපුර ශ්රී සම්බුද්ධ සාසනෝදය සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම් ලබා තිබේ.
උන්වහන්සේ වෙත අභිනව පදවියට අදාළ අක්තපත්ර ප්රදානය කිරීමේ උත්සවය ඔක්තෝබර් 27 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ ලෝටස් ශාලාවේදී පැවැත්විණි.
ශ්රී ලංකා අමරපුර මහා නිකායේ සාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අභිනව අනුනායක ධූරයට අදාළ අක්තපත්රය පිරිනමනු ලැබීය. අභිනව පදවියට අදාළ විජිනිපත ප්රදානය කරනු ලැබුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා විසිනි.
මොරවක අරති අධ්යාත්මික සෙනසුනේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන ධම්මගවේසී හිමිපාණෝ බියගම ධම්ම විහාර මධ්යස්ථානය, කෑගල්ල කොටිගල ධම්මනිකේතන බෞද්ධ මධ්යස්ථානය සහ සිංහාරගම සිරි ධම්මරතන ධර්ම පර්යේෂණ භික්ෂු පුහුණු මධ්යස්ථානය යන විහාරස්ථානවල අධිපතිත්වය දරති.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ මියන්මාර තානාපතිනී Daw Malar Than Hteik මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්රී සාගරිකා අතාවුද මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, රාජ්යතාන්ත්රික නියෝජිතයන්, ආරාධිත අමුත්තන් සහ දායක දායිකාවෝ රැසක් එක්ව සිටියහ.