ලොවම බියවැද්දූ වැන්ගර් නායකයාගේ මරණය ගැන තහවුරුවක්

Russo-Ukrainian War Ukraine Russia
By Sewvandhi Aug 27, 2023 02:24 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

පසුගියදා ගුවන් අනතුරකින් මියගිය පිරිස අතර වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක යෙව්ගිනි ප්‍රිගොෂින් ද සිටි බව සිදුකළ අණුක ජාන පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ.

වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මෙන්ම අනෙක් 09 දෙනාගේම අණුක ජාන පරීක්ෂණ අනුව අනන්‍යතාවය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ .

එමෙන්ම, අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායකයා සමග ඔහුගේ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ද සිට ඇති බව සඳහන් වේ. පසු ගිය 24 වෙනිදා වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ඇතුළු 10 දෙනෙකු ගමන් ගත් ජෙට් යානයක් කඩා වැටුණු බවට වාර්තා වුණා.

පසුව රුසියාව පවසා තිබුණේ එම ස්ථානයේ තිබූ මළ සිරුරු 10ක් සහ ගුවන් රෙකෝඩරය සොයා ගත් බවය. බොහෝ විශ්ලේෂකයන්ගේ මතය වුණේ, බෝම්බයක් හෝ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගුවන්යානය විනාශ වන්නට ඇති බවට අනුමාන කරන බවයි.

කෙසේ වෙතත් මෙය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් සිදුකර ඇති බවට කටකතා ප්‍රචාරය විය. නමුත් ප්‍රිගොෂින් ඝාතනය කිරීමට ක්‍රෙම්ලිනය නියෝගයක් ලබාදුන් බවට කරන ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳ මේ වන තෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහාය ලබාගැනීම සඳහා කුලී හේවා බළකායක් ලෙස වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කළ අතර එහි නායකත්වය යෙව්ග්නි ප්‍රිගොෂින් විසින් දරනු ලැබීය.

පසුව ඔහු විසින් රුසියානු හමුදා සිය විශ්වාසය කඩ කළ බව පවසමින්, රුසියානු පාලනය යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය කිරීමට ද එම කුලී හේවායින් කටයුතු කර තිබුණි.