කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාව දුමෙන් වැසෙයි - බද්දක් අය කිරීමට සැරසෙන ට්‍රම්ප්

United States of America Canada Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 19, 2026 07:01 AM GMT
Report

කැනඩාවේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවේ එක්සත් ජනපද ප්‍රදේශ රැසක් දුමෙන් ආවරණය වී ඇති අතර, එම තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාවට නව තීරු බදු පැනවිය හැකි බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

කැනඩාවේ ලැව්ගිනි පාලනය සම්බන්ධයෙන් එක්සත් ජනපද නීති සම්පාදකයින් විසින් සිදුකර ඇති විවේචන සහ ඔන්ටාරියෝ ප්‍රාන්ත අගමැති ඩග් ෆෝඩ් විසින් ගිනි මැඩපැවැත්වීම සඳහා සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක් වන Truth Social ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් “අපිරිසිදු සහ සෞඛ්‍යයට අහිතකර වාතයෙන්” එක්සත් ජනපදයට බලපෑම් එල්ල වී ඇති බවයි.

කැනඩාවේ “හිතාමතා නොසැලකිල්ල” හේතුවෙන් නව බදු පැනවීම සම්බන්ධයෙන් සලකා බලන බවද ඔහු සඳහන් කර ඇති අතර, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගෙන් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කර තිබේ.

කැනේඩියානු වයිල්ඩ්ලන්ඩ් ගිනි නිවීමේ තොරතුරු පද්ධතියේ දත්තවලට අනුව, සිකුරාදා වන විට කැනඩාව පුරා සක්‍රීය ලැව්ගිනි 888ක් පමණ පැවති අතර, ඉන් බොහෝමයක් තවමත් පාලනයට නතු කර ගැනීමට නොහැකි තත්ත්වයක පැවතිණි.

එම ලැව්ගිනි අතරින් 190කට වැඩි සංඛ්‍යාවක් ඔන්ටාරියෝ ප්‍රාන්තයේ වාර්තා වී ඇති අතර, ඇතැම් ගිනි තවදුරටත් පාලනයෙන් තොරව පැතිර යමින් පවතී.

මේ අතර, ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ ඔහුගේ පෙර යෝජනාව යළිත් ඉදිරිපත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, එම අදහස කැනේඩියානුවන් අතර දැඩි විරෝධයට හේතු වී ඇති අතර, ඇතැමුන් විරෝධතාවක් ලෙස එක්සත් ජනපදයට සිදුකරන සංචාර සීමා කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

එමෙන්ම, ඔන්ටාරියෝ සහ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තය සම්බන්ධ කරන කැනඩා අරමුදල් යටතේ ඉදිකරන ලද ගෝර්ඩි හෝව් ජාත්‍යන්තර පාලමේ විවෘත කිරීම ප්‍රමාද කරන ලෙසද ඇතැමුන් යෝජනා කර තිබේ.

කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මීට පෙර ප්‍රකාශ කර තිබුණේ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා කැනඩාව සහ එක්සත් ජනපදය යන දෙරටටම වගකීමක් පවතින බවයි.