අලි - මිනිස් ගැටුමට කඩිනම් ජාතික ප්‍රතිපත්තියක්
අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ එම කාරක සභාවේදී, Coalition for Inclusive Impact (CII), UNESCO සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) එක්ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක පර්යේෂණ ප්‍රතිඵල සහ ප්‍රතිපත්ති නිර්දේශ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එහිදී අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම, වනඅලින්ගේ ආහාර හා ජල අවශ්‍යතා සපුරාලීම, වනජීවී වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ පරිසර සංරක්ෂණය සඳහා ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු විය.
වනඅලි වාසස්ථානවල පවතින ජල මූලාශ්‍ර සහ ආහාර සම්පත් සම්බන්ධ ගැටලු හේතුවෙන් වනඅලි ජනාවාස ප්‍රදේශ වෙත පැමිණීමේ අවදානම ඉහළ යන බැවින්, එය අවම කිරීම සඳහා සුදුසු කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව පෙන්වා දී තිබේ.
මේ අතර, හඳුනාගෙන ඇති අලිමංකඩ අතරින් ප්‍රමුඛතා පදනම මත අලිමංකඩ 06ක් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම, වනජීවී රක්ෂිතවල වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.
මුතුරාජවෙල තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා රජයට අයත් ඉඩම් නිසි පරිදි මැනුම් කර සීමා ලකුණු යෙදීම මෙන්ම අනවසර ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, සුළු පන්න ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.
අලි - මිනිස් ගැටුම ඇතුළු පාරිසරික ගැටලු විසඳීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත මත පදනම් වූ ක්‍රියාමාර්ග ගැනීම, අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට ගැළපෙන සාර්ථක ක්‍රමවේද අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බවද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.