පේරාදෙණිය සරසවි සිසුන්ට විශේෂ අනතුරු ඇඟවීමක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර අවදානම පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කර ඇත්තේ, මහවැලි ගංද්‍රෝණිය ආශ්‍රිත නේවාසිකාගාරවල රැඳී සිටින සිසු සිසුවියන් විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.
ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට ඇදහැලෙන තද වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, පේරාදෙණිය "කළු පාලම" අසල සිදුකෙරෙන පාලම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ තිබූ යන්ත්‍ර සූත්‍ර රැසක් ජලයෙන් යටවී ඇති අතර, සැඩ ජල පහරට හසුවූ ඇතැම් උපකරණ හා ද්‍රව්‍ය ගඟ පහළට ගසාගෙන ගොස් ඇති බවද සඳහන් වේ.
මේ අතර, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අද (03) පස්වරු 12.30ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා බලපැවැත්වෙන අතර, උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශ සඳහා එය අදාළ වේ.
ඒ අනුව, මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරමින්, ගංවතුර අවදානමට මුහුණදීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
තවද, ඉදිරි දිනවලදීද වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බැවින්, මහජනතාව සියලු දෙනාම නිල දැනුම්දීම් පිළිපදිමින් අවධානයෙන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.