උණවටුන බිහිසුණු වෙඩිතැබීම ගැන ගැන පොලීසියෙන් හෙළිදරව්වක්..!

Sri Lanka Police Shooting Sri Lanka
By Sewvandhi May 24, 2023 10:46 AM GMT
Report

පොලීසිය විසින් අද (24) උදෑසන හබරාදුව පොලිස් වසමේ උණවටුන, හීනටිගල ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එහිදී පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලැබීය. මියගොස් තිබුණේ 37 හැවිරිදි හීනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකාරිය මරණකරුගේ බිරිඳ වන අතර ඔවුන් ත්‍රීරෝද රථයකින් දරුවන් පාසලට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම වෙඩිතැබීමට ලක්වී ඇත.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනාවම කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් තිබුණි. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල අවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇති බවය.

මරණකරු 2013 වර්ෂයේ හබරාදූව පොලිස් වසමේ හරුමල්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව මනූෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලීසිය කියයි.

තවද මොහු 2021 වසරේ උණවටුන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වී ඇප මත සිටි අයෙකු බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව අද උදෑසන සිදුවූ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉහත සිද්ධි සහ මෙම සිද්ධිය අතර යම් සම්බන්ධතාවයක් පවතී ද යන්න අනාවරණය කරගැනීම සඳහා හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now