යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය සහිත යුක්රේනයේ නගරය රුසියාව අත්පත් කර ගනී - නවතම තත්ත්වය මෙන්න..

ukrain Russian putin russia ukraine war russian
By Sewvandhi Mar 03, 2022 11:40 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියානු ආක්‍රමණය හමුවේ සිය නගරය රුසියානුවන්ට යටත් වූ බව යුක්‍රේනයේ 'හර්සොන්' නගරයේ නගරාධිපති ඉහෝර් කොලිකිෆ් (Ihor Kolykhaiev) පවසනවා.

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් හරියටම සතියකට පසු රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයට සහමුලින්ම නතු වූ පළමු නගරය මෙයයි.

හර්සොන් නගරයේ නගරාධිපතිවරයා සිය නගර වැසියන් ගෙන් ඉල්ලා ඇත්තේ රුසියානු හමුදාවේ අණට අනුව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම සිය නගර වැසියන්ට හානි නො කරන ලෙසත් ඔහු රුසියානු හමුදාවන්ගෙන් ඉල්ලා තිබෙනවා. ලක්ෂ 3ට ආසන්න ජනගහනයක් වාසය කරන හර්සොන් කලාපය යුක්‍රේනයේ ඇති බෙහෙවින් කාර්මිකකරණය වූ නගර කලාපයක්.

මෙම ප්‍රදේශයේ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරීසියා න්‍යෂ්ටික බලාගාරය ද පිහිටුවා ඇති අතර මේ වන විටත් එම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය සම්පූර්ණයෙන්ම රුසියානු හමුදාවන් විසින් වටකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට රුසියානු යුද භටයින් සහ සන්නද්ධ රට රථ යුක්‍රේනයේ හර්සොන් නගරයේ ස්ථානගත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු භටයින්ගේ මෙම ජයග්‍රහණයත් සමඟම යුක්රේන්යේ ප්‍රධාන වරාය සහ නාවික කඳවුර වන ඔඩෙස්සා, වෙත දැවැන්ත තර්ජනයක් සහ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට යුධ විශ්ලේෂකයින් අනතුරු හඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් ඔඩෙස්සා වරාය ආසන්නයේ රුසියානු යුධ නෞකා බොහොමයක් ස්ථානගත කර ඇති බවයි.

බොහෝ විට මෙම ප්‍රහාරය ගොඩබිමින් සහ දියෙන් එක්වර එල්ල වන ප්‍රහාරයක් විය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

බදාදා රාත්‍රියේ රුසියානු නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීන ඇතුළු නාවික යාත්‍රා ක්‍රිමියා අර්ධද්වීපයේ පිහිටා ඇති රුසියානු නාවික හමුදා කඳවුරෙන් පිටත්ව ඇත්තේ ද ඔඩෙස්සා වරායට ප්‍රහාරයක් එල්ල කිරීමට බවයි මෙම විශ්ලේෂකයින් උපකල්පනය කරන්නේ.

බොහෝ විට මෙම වරාය සහ නාවික හමුදා කඳවුර ඉලක්ක කරගෙන සිදු කෙරෙන ප්‍රහාරයන් අද දිනය තුළ දී සිදු විය හැකි බවටත් ඔවුන් පුරෝකතනය කරනවා.

බදාදා සවස් වන තෙක් නගරයේ පාලනය රුසියානු හමුදාවන්ට ලබා නො දී සිටීමට නගරවැසියන් සහ යුක්‍රේන හමුදා භටයන් දැවැන්ත ප්‍රතිරෝධයක් එල්ල කළ ද සංඛ්‍යාවෙන් ඉහළ රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමන හමුවේ එය බිඳ වැටුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now