යුක්රේනයේ තවත් නගරයක් රුසියාවට බිලි වෙයි - බිහිසුණු යුද්ධයේ නවතම තත්ත්වය.

war ukrain Russian Putin Ukrain russia war
By Sewvandhi Mar 02, 2022 03:36 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ආර්ථික ඇතුළු බටහිර සම්බාධක තීව්‍ර වෙද්දී රුසියාව අද 7 වැනි දිනටත් යුක්‍රේනයේ කියුව් ඇතුළු ප්‍රධාන නගර වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටී.

  ලක්ෂ 3ක ජනතාවක් වාසය කරන උපක්‍රමිකව ඉතාමත් වැදගත් කර්සොන් නගරය අද රුසියානු හමුදා අතට පත්වුණි. යුක්‍රේනයේ ප්‍රධාන ජල සැපයුම් කලාපයක් ද වන කාර්සොන් සැලකෙන්නේ, රුසියාව අත්පත්කරගත් විශාලතම නගරය ලෙසය.

යුක්‍රේනයේ උසින් වැඩිම කියෙව් හි රූපවාහිනී කුලුන වෙත ඊයේ රුසියානු මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වුණේ ජීවිත 5ක් අහිමි කරමිනි. කියෙව් හි සන්නිවේදන කටයුතු අඩපණ කිරීම ප්‍රහාරයේ අරමුණ වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එම ප්‍රහාරයෙන් කියෙව් හි පිහිටි නාසි සංහාරයේදී මියගිය යුදෙව් අනුස්මරණ කෞතුකාගාරයට ද දැඩි හානි සිදුවුණි.  දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මානුවන් සිදුකළ  යුදෙව් සංහාරයේදී ඝාතනයට ලක්වූ 33,000ක යුදෙව්වන්ගේ සමූහ සුසානයක් වන බාබින් යාර් ස්මාරකය සැලකෙන්නේ යුරෝපයේ ඇති විශාලතම සමූහ යුදෙව් සුසානය ලෙසය.

යුක්‍රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් ද මේ වන විට  රුසියාවේ ප්‍රබල ප්‍රහාරයකට ලක්වෙමින් තිබේ. යුක්‍රේනය චෝදනා කරන්නේ, කාර්කිව් වෙත එල්ලකරන ප්‍රහාර සඳහා රුසියානු පැරිෂුට් හමුදා ඛණ්ඩ යොදවාගෙන ඇති බවය. මේ අතර සැතපුම් 40ක දිගින් යුත් රුසියානු සන්නද්ධ රථ පෙළ මේ වන විට කියෙව් අගනුවරට සැතපුම් 15කට ආසන්නයේ රඳවා තිබේ. 

මෙවන් පසුබිමක කියුව් අගනුවර වැසියන් විශාල පිරිස් දුම්රිය නැවතුමපොළ වෙත එක්ව සිටියේ නගරයෙන් පළායාම සඳහාය.  ඇතැම් ස්ථානවල නොසන්සුන් තත්ත්වයන් ඇති වූ අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

  ප්‍රවාහන පහසුකම් නොමැති ඇතැම් කියුව් වැසියන් නගරයෙන් පළායමින් සිටින්නේ පා ගමනින්ය.  මේ වන විට යුක්‍රේන සරණාගතයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් පෝලන්තය, මෝල්දෝවාව ඇතුළු අසල්වැසි රටවල් වෙත පළාගොස් තිබේ.

  විචාරකයින් ඇස්තමේන්තු ගත කර ඇත්තේ, යුක්‍රේන සරණාගතයින් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා යා හැකි බවය.  ගෙවුණු සතිය තුළ පමණක් යුක්‍රේනයේ ළමුන් 13දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 352දෙනෙකු මියගොස් තිබේ. යුක්‍රේන වාර්තාවන්ට අනුව ප්‍රහාරවලින් මියගිය රුසියානු සෙබළු ගණන 5, 840ක් වුවත් රුසියාව එම වාර්තා තහවුරු කර නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now