විමල්-ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් කළ 16 ක් ස්වාධින වෙන්න යයි

politics Maithripala Sirisena Vasudeva Udaya Gammanpila Vimal Weeravansha
By Sewvandhi Mar 05, 2022 01:03 PM GMT
Report

අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂ දහයේ නායකයන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ පෙරේදා (04) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ .

ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කරන ,විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු ද ,උදය ගම්මන්පිල මහතාද, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, අතුරලියේ රතන හිමියන් ද, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,ඒ එල් එම් අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් දහසය දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇත

මේ අතර ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ආරම්භ කර ඇති දේශපාලන ක්‍රියාමාර්ග දිගටම ගෙන යාමටත්,විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමතිධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් හවුල්කාර පක්ෂ එකොළහේ නායකයන්ගේ අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් එම රැස්වීමේදී තීරණය කර ඇත .

ඊට අමතරව රට හරි මගට නමින් ඉකුත් දා නිකුත් කළ කරුණු දහයකින් යුත් යෝජනාවලිය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට පිළිගැන්වීමට සහ ජනතාව අතර බෙදා දීමට ද එහිදි තීරණය කර ඇත.

ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන සතියේ දී පක්ෂ නායකයන් රැස්වී සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත .

අතුරලියේ රතන හිමියෝ ද ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර , ඩිව් ගුණසේකර විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ ,වීරසුමන වීරසිංහ ,ගෙවිදු කුමාරතුංග, ටිරාන් අලස් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ . 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now