ක්‍රිප්ටෝ උගුලේ හිර වූ ට්‍රම්ප් - Truth Social මව් සමාගමට මාස 3කට ඩොලර් මිලියන 238ක පාඩුවක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම වන Trump Media and Technology Group (TMTG), අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළ ඩොලර් මිලියන 238ක පමණ පාඩුවක් වාර්තා කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Truth Social සමාජ මාධ්‍ය වේදිකාව පවත්වාගෙන යන මෙම සමාගම සඳහන් කර ඇත්තේ, මෙම කාර්තුමය පාඩුව පසුගිය වසරේ එම කාලසීමාවේ වාර්තා කළ පාඩුව මෙන් 10 ගුණයකටත් වඩා වැඩි බවයි.
ක්‍රිප්ටෝ මුදල් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයෙන් බැහැර ව්‍යාපාරික කටයුතු වෙත සමාගම අවධානය යොමු කිරීම සහ එම ආයෝජනවල අගය පහත වැටීම මෙම පාඩුවට බලපා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, සමාගම මෙම කාර්තුවේදී ඩොලර් මිලියන 1.7ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 89%ක වර්ධනයකි.
එමෙන්ම, මුදල් ගෙවන පාරිභෝගිකයන්ට ට්‍රම්ප්ගේ වෙළඳපොළ කෙරෙහි බලපෑම් ඇති කළ හැකි සටහන් වෙත වේගවත් ප්‍රවේශයක් ලබාදීම ඇතුළු මතභේදාත්මක සේවා කිහිපයක් හඳුන්වා දෙමින්, සිය සමාජ මාධ්‍ය ව්‍යාපාරය වෙත යළි වැඩි අවධානයක් යොමු කිරීමට සමාගම සැලසුම් කර තිබේ.
දෙවන කාර්තුව අවසන් වනවිට සමාගම සතුව ඩොලර් බිලියන 2ක පමණ මුළු වත්කම් ප්‍රමාණයක් පැවති අතර, එහි මුදල්, කෙටි කාලීන ආයෝජන සහ ඩිජිටල් වත්කම් ඇතුළත් මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.9කට ආසන්න බව ද සමාගම සඳහන් කර ඇත.
ක්‍රිප්ටෝ මුදල් සහ පිරිසිදු බලශක්ති ආයෝජන ඇතුළු නව ක්ෂේත්‍ර වෙත ව්‍යාපාර පුළුල් කිරීමට උත්සාහ කළද, Trump Media and Technology Group තවමත් ලාභ ලබන තත්ත්වයට පත්ව නොමැති බව වාර්තා වේ.