මහනුවරට මෙට්රෝ බස් සේවාව ව්යාප්ත කිරීමේ මුල් පියවර
මහනුවර නගරය සහ තදාසන්න ප්රදේශ ආවරණය වන පරිදි මෙට්රො බස් රථ සේවාව ව්යාප්ත කිරීමේ සැලසුම යටතේ, යෝජිත බස් මාර්ග හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ ධාවනයක් අද (15) ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
බස්නාහිර පළාත කේන්ද්ර කර ගනිමින් දැනට ක්රියාත්මක වන මෙට්රො බස් සේවාව දිවයිනේ අනෙකුත් ප්රධාන නගර වෙත ව්යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව මහනුවරින් ආරම්භ වූ මෙම පරීක්ෂණ ධාවනය සේනානායක වීදිය, දළදා වීදිය, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මුල්ගම්පල, ගැටඹේ හන්දිය, ගලහ හන්දිය, පේරාදෙණිය, අඟුනාවල, ගෙලිඔය, වැලිගල්ල සහ කහටපිටිය හරහා ගම්පොල ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ පරිශ්රය දක්වා සිදු විය.
කිලෝමීටර් 19කින් සමන්විත මෙම මාර්ගය මෙට්රො බස් ධාවනයට සුදුසු පරිදි සංවර්ධනය කිරීමට සහ යටිතල පහසුකම් සැලසීමට ද නියමිතය. මෙම ධාවනයට පෙර මධ්යම පළාත් මාර්ග අමාත්යාංශ ශ්රවණාගාරයේදී ව්යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.