දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක් උඩුදුවයි..මගීන් දැඩි අපහසුතාවයට ලක්වෙයි..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Mar 23, 2024 01:03 AM GMT
Report

දුම්රිය ආසන වෙන් කිරීමේ මාර්ගගත ක්‍රමයේ ඇති ගැටලු හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයෝ මහත් අසීරුතාවට ලක්ව සිටිනවා.

දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරන්නේ, ප්‍රදාන පෙළේ සන්නිවේදන සමාගමකට දුම්රිය ආසන වෙන් කිරීමේ පූර්ණ පහසුකම් ලබාදී ඇත්තේ මාර්ගගතව සියයට හතළිහක් (40%) ක් හා දුම්රිය ස්ථාන මගින් සියයට හැටක් (60%) වෙන්කර ගැනී‍මේ හැකියාවද කප්පාදු කරමින් බවටයි.

අදාළ සන්නිවේදන සමාගමේ ඉහළ තනතුරක් දැරූ නිලධාරියකු මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දරන බවත්, ඔහු විසින් අදාළ සමාගමට මෙම වගකීම භාරදී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මීට පෙර දුම්රිය ආසන වෙන්කරලීම්වලින් සියයට හැටක් (60%) දුම්රිය ස්ථාන වෙත පවරා දී තිබුණා.

අක්‍රමවත් ලෙස සකසා ඇති නව ක්‍රමවේදය ඔස්සේ රාජ්‍ය සේවකයන්ට හිමිවන නිදහස් දුම්රිය බලපත් මගින් ආසන වෙන්කර දීමද සිදුකළ නොහැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මෙම ක්‍රමවේදය හේතුවෙන් තොරතුරු යාවත්කාලීන වීමේ ප්‍රමාදයන් සිදුවන බවත්, ආසන වෙන්කර දීම සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වැඩි කාලයක් ගතවන බවත් කී සභාපතිවරයා, අක්‍රමවත් පරිදි නිර්මාණය කළ නව පද්ධතිය දෝෂ සහිතව හඳුන්වා දී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසකගේ වුවමනාවකට බවද සඳහන් කළේය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ආසන වෙන්කිරීමේ නව ක්‍රමවේදය හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව දුම්රිය ස්ථානවල ආදායමද සියයට තිහකින් (30%) පමණ අඩුවී තිබෙන බවයි.