ඉදිරියේදී දුම්රිය ධාවනය ප්‍රශ්නයක් වෙයි.. මගීන් දැඩි අපහසුතාවයට වැටෙයි..

Sri Lanka Sri Lanka Railways Train Crash Department of Railways
By Aruna Nov 19, 2022 05:58 AM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වසර ගනණාවක් පුරා පවතින පුරප්පාඩු හේතුවෙන් ඉදිරියේදී දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව බලධාරීන් පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය යථාපරිදි පවත්වාගෙන යාමට සමස්ත කාර්යය මණ්ඩලය 21,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටිය යුතුව ඇති අතර දැනට සේවය කරනු ලබන්නේ 13,000ක සේවක සංඛ්‍යාවක් බව සඳහන් වේ.

සේවය සඳහා අවශ්‍ය කණිෂ්ඨ සේවකයින් බඳවා ගැනීම සඳහා මීට වසර කිහිපයකට පෙර අයදුම්පත් කැඳවා තිබුණ ද එම බඳවා ගැනීම් මේ වන තෙක් සිදුකර නැති පසුබිමක මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් පසුව සේවකයින් විශාල පිරිසක් විශ්‍රාම ගැන්වීමට නියමිතව ඇත.

එමෙන්ම දුම්රිය සංඥාකරුවන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බවක් ඇතිවීමේ අවදානමක් පවතින බව දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

රඹුක්කන දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් 5 දෙනාගෙන් තිදෙනෙකු දෙසැම්බර් මස 31 වනදායින් පසු විශ්‍රාමයාම හේතුවෙන් ඉදිරියේ දි රඹුක්කනින් ඉහළ, දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් මතුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයින් බඳවාගැනීම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවත් මේ වන විට අවශ්‍ය සේවකයින් පමණක් බඳවාගැනීමට පියවර ගනිමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. ඩී. ගුණසිංහ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now