යකඩ පොලු මුගුරු සහිතව නිවසට කඩා පැන්න "මාපිලා" ඇතුළු මැරයෝ

Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jan 29, 2023 01:38 PM GMT
Report

හෝමාගම ගොඩම ප්‍රදේශයේ පදිංචි , බස්රථ හිමියෙකු හා රියදුරෙකුට යකඩ පොලු රැගෙන නිවසට කඩා වැදුණු දස දෙනෙකුගෙන් යුත් පිරිසක් සිදුකළ  පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එම පිරිස ඊයේ (29) රාත්‍රීයේ තියුණු ආයුධ රැගෙන පැමිණ ඇත. පහරදීම සඳහා "මාපිලා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු, ඔහුගේ සහෝදරයා ඇතුළු පිරිසක් පැමිණ ඇතැයිද පොලීසිය පැවසීය. 

 ත්‍රීරෝද රථ, මෝටර් රථ සහ යතුරුපැදිවලින් පැමිණ තිබූ සන්නද්ධ පිරිස දෙමහල් නිවසේ ඉදිරිපස දොර කඩා නිවස තුළට කඩා වැදී තිබුණි. ඔවුන් නිවසේ ඇති දේපළවලට අලාභානි කරමින් බස්හිමියාගෙන් "කෝ උඹගේ ඩ්‍රයිවර්ස්ලා, ගෝලයෝ ටිකයි" යනුවෙන් පවසමින් බස්හිමියාට බිම දමා හිස හා පපු ප්‍රදේශයට ද පහරදී ඇතැයි පොලීසිය පැවසීය.

පැමිණි පිරිසගේ ශබ්දය ඇසී ඉහළ මාලයේ නිදා සිටි රියැදුරකු පහත මහළට පැමිණීමත් සමඟම ඔහුට ද එම පිරිස එක්ව පහරදී ඇත. අනතුරුව එම පිරිස මීගොඩ කොස්හේන ප්‍රදේශයේ පිහිටි බස් හිමියාගේ පුතුගේ නිවසට සහ එහි නවතා තිබු යතුරුපැදියකට ගල් මුල්වලින් පහර දී අලාභානි කර ඇතැයි ද පොලිස් නිලධාරියකු පැවැසීය.

බස් හිමියාට අයත් බස් රථයක් ඊයේ කොළඹ සිට හෝමාගම දෙසට පැමිණීමේදී තවත් බස් රථයක් ද කොළඹ සිට පාදුක්ක වෙත පැමිණ ඇත. එහිදී මහමඟ රැඳී සිටි මගීන් ගැනීමේදී ඇති වූ රියදුරන් දෙදෙනා සහ කොන්දොස්තරවරුන් දෙදෙනා අතර ඇතිවූ ගැටලුවක් එදිනම සමථයකට පත්වී තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

එම බස් රථය හිමි පුද්ගලයා සහ ඔහුගේ ගෝල බාලයන් පිරිසක් එම පහරදීම සිදුකර ඇති බව පහර කෑ බස් රථ හිමියා හඳුනාගෙන ඇතැයි ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. පහර කෑ බස්හිමියා හා රියදුරු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now