පරාටා නෑ කියා හෝටලය කුඩුපට්ටම් කර, හිමිකාර යුවළට අමානුෂික ලෙස පහර දුන් චණ්ඩි..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Businessman
By Sewvandhi Jan 19, 2024 04:30 PM GMT
Report

පාදුක්ක ප්‍රදේශයෙන්, රාත්‍රී හෝටලයකට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් හෝටලයේ හිමිකාර යුවළට අමානුෂික ලෙස පහර දී හෝටලයට දැඩි අලාභහානි කිරීමේ පුවතක් වාර්තා විය.

පාදුක්ක - අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම රාත්‍රී හෝටලය පවත්වාගෙන යනු ලබන්නේ යුවළක් විසිනි. ඊයේ (18) රාත්‍රි 10.45ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු එහි පැමිණ කොත්තුවක් ඇණවුම් කර තිබේ.

ඉන්පසුව කොත්තුව පිසින අතරවාරයේ දී ඔවුන් යළි පවසා ඇත්තේ, තමන්ට අවශ්‍ය කොත්තුවක් නොව පරාටා බවය. එහි දී හෝටලයේ හිමිකරුවන්, පරාටා නොමැති බව පැවසීමත් සමඟ එම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී ඇත. හෝටලයේ යුවළ සිය දරුවන් ද රැගෙන එම ස්ථානයෙන් වහා පළා ගොස් ඇත්තේ දිවි බේරාගැනීමටය.

පසු ව ඔවුන් පාදුක්ක පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. වාර්තා වන්නේ, මෙලෙස හෝටලයට පැමිණ පහර දී ඇත්තේ, ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු, හෝටලයේ හිමිකරුවන් තමාට පහර දුන් බව පවසා රෝහල්ගත වී තිබේ.

තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස හා තමන්ට සිදු වූ අලාභහානිය පියවා ගැනීමට සහාය වන ලෙසට හෝටලයේ හිමිකාර යුවළ පොලීසියෙන් ඉල්ලා සිටිති.

Sponsored By Sarrita Jewellery

පරාටා නෑ කියා හෝටලය කුඩුපට්ටම් කර, හිමිකාර යුවළට අමානුෂික ලෙස පහර දුන් චණ්ඩි.. | The Thug Who Destroyed The Hotel Padukka