පුංචි සිගිත්තියට අත්වූ අති බිහිසුණු ඉරණම..

Sri Lanka Police Kandy Sri Lanka Police Investigation Accident
By Sewvandhi Aug 01, 2024 03:52 PM GMT
Report

මාවනැල්ල නගරයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි දැරියක් හිසට පොල් ගෙඩියක් වැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මාවනැල්ල මාවාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රනුලි හසත්මා එදිරිමාන්න නමැති අවුරුදු තුනහමාරක් වයසැති දැරියක්, මෙලෙස මියගොස් ඇත.

අද (01) උදෑසන 10.45ට පමණ පෙර පාසල් පාලිකාව අදාළ පෙර පාසලේ ගේට්ටුව වැසීම සඳහා පන්ති කාමරයෙන් පිටව යාමේදී මෙම දැරිය සහ තවත් දරුවන් දෙදෙනෙක් පාලිකාව සමග මිදුලට දිවගොස් තිබේ.

පසුව දරුවන් තිදෙනා පාලිකාව සමඟ නැවත පෙර පාසල් ගොඩනැගිල්ල තුළට යමින් සිටියදී පෙර පාසලේ වත්තේ තිබූ පොල් ගසක ගෙඩියක් වැටීමෙන් මෙම දැරිය තුවාල ලබා තිබේ.

දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී දැරියගේ තත්ත්වය බරපතළ වූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යාවා තිබුණි.

එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී ඇත. මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිත අතර, මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.