තේ කිලෝවක මිල ඉහළ ගියත් අපනයන ප්‍රමාණය බැහැලා - සංඛ්‍යාලේඛන එළියට
පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 21.25ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2025 වසරේ එම මාසයේදී වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 23.27ට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 2.02ක අඩුවීමක් බව වාර්තා වේ.
2026 ජූනි මාසයේදී තොග තේ (Bulk Tea) හැර අනෙකුත් සියලුම තේ නිෂ්පාදන කාණ්ඩ 2025 ජූනි මාසයට සාපේක්ෂව සෘණාත්මක වෙනස්කම් පෙන්නුම් කර තිබේ.
කෙසේ වෙතත්, තේ කිලෝග්‍රෑමයක FOB අගය 2026 ජූනි මාසයේදී රුපියල් 1,871.14ක් ලෙස සටහන් වී ඇති අතර, එය 2025 ජූනි මාසයේ වාර්තා වූ රුපියල් 1,714.08ට සාපේක්ෂව රුපියල් 157.06ක ඉහළ යාමකි.
රුපියල් අගයෙන් සලකා බැලීමේදී, ක්ෂණික තේ (Instant Tea) හැර අනෙකුත් සියලුම තේ නිෂ්පාදන කාණ්ඩ පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව වර්ධනයක් වාර්තා කර ඇති බව සඳහන් වේ.
එහෙත්, ඇමෙරිකානු ඩොලර් අගයෙන් සලකා බැලීමේදී, තේ බෑග් (Tea Bags) කාණ්ඩය හැර අනෙකුත් සියලුම කාණ්ඩවල වසරින් වසර පහළ යාමක් දක්නට ලැබී තිබේ.
මේ අතර, 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමුච්චිත තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 123.10ක් ලෙස වාර්තා වී ඇත. එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 126.81ට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 3.71ක පහළ යාමකි.
අදාළ කාලසීමාව තුළද ක්ෂණික තේ හැර අනෙකුත් සියලුම තේ නිෂ්පාදන අංශ සෘණාත්මක වෙනස්කම් වාර්තා කර ඇති බව සඳහන් වේ.