රනිල්ගේ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලශූන්‍ය කරයි

Ranil Wickremesinghe Latest Headlines Sinhala news Puwath.lk Colombo politics heat up
By R.rishma Oct 26, 2026 12:47 PM GMT
Report

භාර්යාවට නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස 29ක සිර දඬුවමකට යටත් කර සිටි පුද්ගලයෙකු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගත් තීරණය නීතිය ඉදිරියේ බලශූන්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ සිර දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

බිරිඳ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් තීන්දුවක්

අදාළ පුද්ගලයාගේ බිරිඳ වන අහමඩ් ෆාමිල්ලා බේගම් මහත්මිය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත් කළ මෙම තීන්දුවට විනිසුරුවරුන් වන ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය හිමිව තිබෙනවා.  

රුපියල් ලක්ෂ 17කට අධික නඩත්තු හිඟයක්

පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ 2005 අප්‍රේල් 23 වැනිදා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ අදාළ පුද්ගලයා සමඟ විවාහ වූ බවයි. එම විවාහයෙන් දරුවන් තිදෙනෙකු උපත ලබා ඇති බවද ඇය අධිකරණයට දැනුම් දී තිබෙනවා. විවාහය අවසන් වීමෙන් පසුව 2022 ජුනි 11 වැනිදා නැගෙනහිර කොළඹ ක්වාසි අධිකරණය මගින් රුපියල් 60,000ක නඩත්තු මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබුණා.  

එහෙත් එම මුදල් අඛණ්ඩව ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් 1,740,000ක හිඟ නඩත්තු මුදලක් ගෙවන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනතුරුව නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීමේ වරදට අදාළ පුද්ගලයා වරදකරු කරමින් මාස 29ක සිර දඬුවමක් නියම කර තිබුණා.

මාස දෙකක් පමණක් සිරගතව සිටියදී නිදහස

2024 සැප්තැම්බර් 12 වැනිදාට යෙදුණු සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ ලබාදුන් සමාවක් මත අදාළ පුද්ගලයා නිදහස් කර තිබෙනවා. එම අවස්ථාව වන විට ඔහු නියම වූ මාස 29ක සිර දඬුවමෙන් මාස දෙකක් පමණක් ගෙවා තිබූ බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්. මෙලෙස නිදහස් කිරීම අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රියාවක් බවත්, ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කාරිය චෝදනා කර තිබෙනවා. සමාව ලබාදීමට පෙර තමන්ගෙන් කරුණු විමසීමක් සිදු නොකළ බවද ඇය පෙන්වා දී තිබෙනවා.

සිරකරුවන් දෙදෙනෙකුට වෙනස් ආකාරයට සැලකීම ගැන අධිකරණයේ අවධානය

අදාළ පුද්ගලයා වෙනුවෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණේ, ඔහුට ලබාදුන් සහනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)(අ) ව්‍යවස්ථාව යටතේ ලබාදුන් සමාවක් නොව, 34(1)(ඈ) ව්‍යවස්ථාව යටතේ සිදුකළ දඬුවම් ලිහිල් කිරීමක් පමණක් බවයි. කෙසේ වෙතත්, නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගතව සිටි තවත් පුද්ගලයෙකු වන මොහොමඩ් ෆයිසාල් මොහොමඩ් නව්ෂාඩ් නිදහස් නොකර ඔහුගේ සිර දඬුවම සතියකින් පමණක් අඩු කර තිබූ බවද තීන්දුවේ සඳහන් වනවා. එකම ආකාරයේ වරදක් සම්බන්ධයෙන් සිරගතව සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙනස් ආකාරයෙන් සැලකීම හේතුවෙන් සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය තුළ අසමානතාවක් පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන තීන්දුවක්

අදාළ පුද්ගලයා පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගත් පියවර හරහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ අයිතිය සහ නීතියේ සමාන ආරක්ෂාව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයාට ලබාදී තිබූ සමාව නීතිය ඉදිරියේ බලශූන්‍ය බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ සිර දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා නීතියට අනුකූලව අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.