සූර්යයා මිය යන දිනය ගැන විශේෂ හෙළිදරව්වක් (VIDEO)

Sun Pictures
By Aruna Aug 17, 2022 07:03 AM GMT
Report

පෘථිවිය අයත්වන ග්‍රහ මණ්ඩලයේ කේන්‍ද්‍රය වන සූර්යයා තව කොපමණ කලක් ජීවත් වේවි ද යන්න සම්බන්ධයෙන් අනාවැකියක් පළ කිරීමට මේ වනවිට තාරකා විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත.

ඔවුන් මෙම අනාවැකිය පළ කරන්නේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් අභ්‍යවකාශයට යවන ලද ගයියා (Gaia) නමැති අභ්‍යවකාශ නිරීක්‍ෂණ යානය මෑතක එවූ තොරතුරු රැසක් මත පදනම් වෙමිනි. එම තොරතුරු අනුව විද්‍යාඥයන් පවසන්නේ මේ වෙද්දී සූර්යයා සිය ජීවිතයේ මැදි වියෙහි පසුවන බවයි.

මේ වනවිට සූර්යයාගේ වයස අවුරුදු බිලියන 4.57ක් පමණ වේ.

පසුගිය දිනවල එහි ක්‍රියාකාරිත්වය ඉතා ඉහළ මට්ටමකට ළඟා වී තිබූ බවද වාර්තා විය.

සූර්ය ගිනි දලු ආදිය විශාල වශයෙන් නිකුත් කළ බව සඳහන් වේ.

අභ්‍යවකාශ නිරීක්‍ෂණ යානය එවූ දත්ත විශ්ලේෂණය කරන විද්‍යාඥයන් පවසන්නේ සූර්යයාගේ වයස අවුරුදු බිලියන 8ක් පමණ වෙද්දී එහි උෂ්ණත්වය උපරිම අගයකට ළඟාවනු ඇති බවකි.

එයින් පසු එය කෙමෙන් සිසිල් වීමට පටන් ගනු ඇත.

ඒ කාලය තුළ සූර්යයා ප්‍රමාණයෙන් විශාල වනු ඇති අතර මෙම අවධියෙහි පසුවන තාරකා හැඳින්වෙන්නේ රතු යෝධයන් (Red Giants) යන නමිනි.

අනතුරුව සූර්යයාගේ ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය ආරම්භ වීමට නියමිතය.

මෙම අවසන් කාලයට එළැඹෙන තාරකා හඳුන්වනු ලබන්නේ සුදු අඟුටුමිට්ටන් (White Dwarfs) වශයෙනි.

වයස අවුරුදු බිලියන 10ක් 11ක් පමණ වෙද්දී සූර්යයාගේ ජීවිතය අවසන් වනු ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now