මෙරට සෑම පැය 4කට වරක්ම සිදුවන අතිශය බයානක දේ..මේ ගැන හැමෝම දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Accident
By Aruna Mar 17, 2023 03:07 AM GMT
Report

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් වාර්තා කර තිබූ වැරදි දත්ත නිවැරැදි කරන ලෙසට එම සංවිධානයට දන්වා යැවූ බව මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මහතා ඊයේ (16) දිනයේ අවධාරණය කළා.

මෙහිදී අධ්‍යක්ෂවරයා චෝදනා කළේ, ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් අතින් ලෝකයේ 30 වැනි ස්ථානයේ සිටියද පළමු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි දත්ත සකස් කර තිබූ බවටයි.

ඒ අනුව කඩිනමින් නිවැරදි කිරීම් සිදුකරන ලෙසට දැනුම් දුන් බව පැවැසූ හෙතෙම ලෝකයේ රටවල් අතර ලංකාවේ ස්ථානයේ වෙනසක් ඇතිවුවද සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව අඩුවී නොමැති බවද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති වැඩමුළුවක් අමතමින් රොහාන් රත්නායක මහතා මේ බව කියා සිටියා.

දැනට ශ්‍රී ලංකාවේ පැය 04කට එකක් වශයෙන් සියදිවි නසා ගැනීම් වාර්තා වන බව පැවැසූ අධ්‍යක්ෂවරයා ඒ ආකාරයට 2022 වසරේදී පිරිමි 2833ක් හා කාන්තාවන් 574 දෙනකු සියදිවි නසාගෙන තිබෙන බව පැවැසීය.

එම වසරේදී ආර්ථික අවපීඩනය හේතුවෙන් ඇඟලුම් කම්හල් ආශ්‍රිැතව සියදිවි නසාගැනීම් වැඩිවීමක් සිදුව ඇති බවත්, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියදිවි නසාගැනීම්වල අසාමාන්‍යතාවක් පෙන්නුම් කරන බවත් ඒ මහතා සඳහන් කළා.

සියදිවි නසාගැනීම්වලින් සියයට 66ක් හැඟීම්වලට යටවීමෙන් ඊට පෙලඹී ඇතැයි පැවැසූ හෙතෙම කෘමිනාශක භාවිතයෙන් සියයට 18ක් ජීවිත හානි කරගෙන තිබෙන බව සඳහන් කළේය.

මුදල් ගැටලු, මානසික රෝග, ඇල්කොහොල් භාවිතය, එකිනෙකා අතරේ සබඳතා බිඳවැටීම, පවුල් අර්බුද, පහරදීම්, බෙලහීනතාවන්, නිදන්ගත වේදනා හා රෝග වැනි හේතු මත වැඩි වශයෙන් වයසක පිරිමින්, තරුණියන්, සිරකරුවන්, සමලිංගිකයන්, ලිංගික විපර්යාසවලට ලක්වූවන් කෘමිනාශක භාවිතය, එල්ලී දිවි හානිකර ගැනීම, ඖෂධ වර්ග භාවිතය වැනි විවිධ ක්‍රමවලින් සියදිවි නසාගෙන තිබෙන බවද රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියා.

2020, 2021, 2022 වර්ෂවලදී ජනගහනයෙන් ලක්ෂයකට සියයට 15.6ක් වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වන බවත්, සියදිවි නසාගැනීම් එකට විස්සක් ලෙසින් ඊට තැත්කිරීම් වාර්තා වන බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ අතර පසුගිය වසරේදී සියදිවි නසාගැනීමට උත්සාහ කළ 90000ක් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කරගෙන තිබෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසීය.

ලෝකයේ දැනට තත්පර 40කට එකක් වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වන බව පැවැසූ හෙතෙම එය වසරකට ලක්ෂ 08ක් වන බවත් පැවැසීය.

සියදිවි නසාගැනීම් සිදුකරන පුද්ගලයන් හඳුනා ගැනීමට හා එහිදී කෘමිනාශක නිවැරදිව භාවිත කරන ආකාරය දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දිස්ත්‍රික්ක 15ක පුහුණු වැඩසටහන් සිදුකළ බවද රොහාන් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළාය.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

උපුටා ගැනීමක්..