වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි වලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයීම අත්හිටුවයි..! අලුත්ම වැඩපිළිවෙල මෙන්න..

By Sewvandhi Mar 15, 2022 12:30 PM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලිවලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයුම අත්හිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම බෙදුම් කරුවන් වෙත දන්වා තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ මෙම නියෝගයන්ට පටහැනිව කටයුතු කරන සියලුම බෙදුම් කරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම රථවාහන වලට වාහන වලට අමතරව බූලිවලට සහ බැරල් වලට ඉන්ධන ලබා දෙන බෙදුම් කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ද දැනුවත් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ වන විට දිවයින පුරා ඇති අධික ඉන්ධන හිඟයට හේතුවෙන් රථ වාහන බොහෝමයක් ඉන්ධන පෝලිම් වල රැඳී සිටින අතර ඊට සමාන්තරව ප්ලාස්ටික් බූලි සහ විශාල කෑන් ගත් පිරිසක් ද ඉන්ධන හල් ඉදිරිපිට පෝලිම් ගැසී ඇති අයුරු දැකගන්නට පුළුවන්.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක්දී කළ විමසීම් වල දී අනාවරණය වූයේ මේ ආකාරයට ප්ලාස්ටික් බූලි වලට සහ බැරල් වලට ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින් ඉන්පසු ඒවා වැඩි මිලට අලෙවි කරන බවයි.

කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකාර්මික වැඩ කටයුතු සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර ඉන්ධන හල් වෙත රැගෙන ඒමේ අපහසුතා තිබීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් බූලි වලට ඉන්ධන නිකුත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම ඉන්ධන නිකුත් කිරීමේ සහ ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් නො කිරීම හේතුවෙන් දිවයිනේ බොහෝ ඉන්ධන හල් ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වූ අවස්ථාවන් ද වාර්තා වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now