වසර 128ක් මල් ශාලාවක සිරව සිටි මිනිසා

By Sewvandhi Oct 08, 2023 04:27 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

මල් ශාලාවක වසර 128ක් පුරා තැන්පත් කර තිබූ මළ සිරුරකට අවසන් ගෞරව දක්වා භූමදානය කිරීමට පෙන්සිල්වේනියාව කටයුතු කර තිබුණි. ඒ ඔහුගේ අනන්‍යතානය හඳුනාගැනීමෙන් අනතුරවය.

සිරුරේ සම ඝනව පැවැතීම හේතුවෙන්, මමියක් ලෙස තැන්පත් කර තිබූ මෙම පුද්ගල සිරුර මෙතෙක් කල් හඳුන්වා ඇත්තේ ස්ටෝන්මන් විලී (Stoneman Willie) ලෙසය. 

මෙම මමිය, ව්‍යාජ නමකින් පෙනී සිට, 1895 වසරේ සිරගෙදරක දී මියගිය පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී තිබේ. මොහුගේ සත්‍ය නාමය වී ඇත්තේ ජේම්ස් මර්ෆි ය.

පෙන්සිල්වේනියාවේ රීඩිං නගරයේ ශතවර්ෂයකට අධික කාලයකට පසු ජේම්ස් මර්ෆි ගේ මමිය සුසාන භූමියක මිහිදන් කිරීමට කටයුතු කර ඇත. එම සොහොන් ගලෙහි 'Stoneman Willie' ලෙස විශාල අකුරෙන් කැටයම් කර තිබූ අතර ඔහුගේ නිවැරදි නම ඊට පහළින් කුඩා අකුරෙන් කැටයම් කර තිබේ.

ජේම්ස් මර්ෆි අයර්ලන්ත සම්භවයක් ඇති මත්පැන් පානය කරන්නෙකු වූ අතර, ඔහු 1895 නොවැම්බර් 19 වනදා වකුගඩු අකර්මණ්‍ය වීමෙන් සිරගෙදර දී මිය ගොස් ඇත.

ඒ වන විට ඔහු 37 හැවිරිදි වියේ පසු වී ඇති අතර ඔහුව සිරගත කර ඇත්තේ ගැට කපන්නෙකු බවට චෝදනා එල්ල වීමෙන් පසුවය. විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ, ඔහුගේ පියා අයර්ලන්තයේ ධනවත් පුද්ගලයෙකු බවත් පියාට ලැජ්ජා කිරීමට අකමැති වූ බැවින් මෙලෙස ව්‍යාජ නමක් නිලධාරීන්ට ලබා දී ඇති බවත්ය.