පාපැදියෙන් සේවයට වාර්තා කරන්න කියයි - කැබිනට් පත්‍රිකාවක්.

politics environment jobs bicycle Mahinda amaraweera
By Sewvandhi Jan 26, 2022 12:09 PM GMT
Report

වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බවය. සිදුකරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇතැයි ද පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.

වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව පාපැදිය භාවිත කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කරගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා මෙම වැඩපිළිවෙල අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට හඳුන්වාදීම සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබාගැනීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉදිරි වර්ෂය තුළ වාහන ආනයනය කරන්නේ නම් විදුලිබලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now