හෙට පාර්ලිමේන්තුවේ විශේෂ තීරණයක්...

By Sithumi Mar 22, 2022 04:29 PM GMT
Report

හෙට (23) පාර්ලිමේන්තුවේදී ගැනීමට බලාපොරොත්තුවෙන විශේෂ තීරණය ගැන අද (22) පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු කළ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි

. ඔහු මේ බව සඳහන් කළේ දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් අද පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "අපේ පක්ෂ එකමුතුව කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම හෙට පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත කළ පනතකට අනුව රෙගුලාසි පැනවීමක්. අපේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල ඉඩම් අයිතිය ගොවි ජනතාවගෙන් පැහැර ගැනීමේ රෙගුලාසි ප්‍රමාණයක්.

ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර අපි සාකච්ඡා කළා." "අද පොහොට්ටුවේ බලකණු පවා තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. මේ තියෙන බල පෙරේතකමට එරෙහිව. අමෙරිකානු හිතවාදීන්ගේ මේ රට කොලනිගත කිරීමට එරෙහිව." "ඉතා බලවත් ක්‍රියාමාර්ග ඉදිරි කාලය තුළ අපි ගන්නවා. රට ගැන ඉතාම කනගාටුයි. නායකත්වයක් නැති අස්ථාවරත්වයක් කරා ගමන් කරලා තියෙනවා. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කළා."

"ජනාධිපතිවරණයක් ගැන අපේ සාකච්ඡාවක් නෑ. රට වැටිලා තියෙන තැනින් කොහොමද ගොඩ ගන්නේ කියලා තමයි සාකච්ඡා කළේ." "ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ තියෙන චෝදනා පත්‍රය ඉදිරි කාලයකදී අපි ඉදිරිපත් කරනවා." "ඉන්දියාවෙන් කීයක් හරි අරන් ඇවිත් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒකෙන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා."

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, "අපිට හදිසි අවශ්‍යතාවයක් තිබෙනවා අපේ මේ දේශපාලන නායකත්වය රට ඉදිරියේ තැබීමට. ආණ්ඩුවට බරපතළ චෝදනා පත්‍රයක් ලබාදෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඉදිරියේදී අපි සර්වාගමික නායකයින් හමුවෙන්නත් තීරණය කළා."