දඩමුදලක් අඩුවෙන් ලියූ මහේස්ත්‍රාත් වරියට ලැබුණූ දීර්ඝ දඩුවම..

By Sithumi Dec 02, 2022 03:54 PM GMT
Report

හිටපු මහේස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමින්.

මේ වන විට විත්තිකාරිය විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් ‍රණරාජා ඇයට වරෙන්තු ද නිකුත් කළා.

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී.එස්. මෙරෙන්චිආරච්චි නමැති අයට මෙලෙස අධිකරණය මගින් දඬුවම් නියම වී වරෙන්තු නිකුත් කෙරිණි.

ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර දඩ නොගෙවන්නේ නම්, ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකක විත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500ක දඩය රු.1500 ලෙස හා රුපියල් 5,000ක දඩය රු. 2500 ලෙස වෙනස් කර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විත්තිකාරියට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් 2009 වසරේදී මෙම නඩු දෙක කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.