කැබිනට් මණ්ඩලයට පත් විය යුතු පිරිස ගැන ජනපතිට ලිපියක්..

Srilanka politics politica
By Sithumi Apr 16, 2022 12:59 PM GMT
Report

ජනතාවගේ ප්‍රසාදය යම් පමණකට හෝ දිනාගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් හරහා රට තුළ පවතින දැඩි අර්බුදයට විසඳුම් ලබාගත යුතු බව බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉන් පෙන්වා දී ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් කළයුතු බවය.

උග්‍ර ආර්ථික හා සමාජයීය අර්බුදයෙන් ජනතාව මුදාගැනීමට ඒ හරහා පියවර ගන්නා ලෙස බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය සඳහන් කරයි. එහි සමලේකම් ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම ලිපිය යොමු කර ඇත.

වත්මන් ආර්ථික අර්බුදය සඳහා දීර්ඝ කාලීන විසඳුමකට එළඹෙන තෙක් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු බව එහි දක්වා තිබේ. මෙම විසඳුමින් බැහැරව සිතමින් ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණ කවර ආකාරයෙන් හෝ මර්ධනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරදි කරගත නොහැකි වරදක් වන බවද අදාළ ලිපියේ සඳහන් ය. 

 පවතින අර්බුදය විසඳාගැනීම සඳහා අතිපූජ්‍ය මහනාහිමියන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් සංදේශය පිළිබඳව ද මෙතෙක් අවධානය යොමුකර නොමැති බවද ඉන් පෙන්වා දී තිබේ. සියලු දේශපාලන පක්ෂ ඇති බලය රැකගැනීමටත් නැති බලය ඩැහැ ගැනීමටත් දරන ප්‍රයන්තය ජනතාවගේ පිළිකුලට භාජනය වී ඇති බවද ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් සිය ලිපියෙන් පෙන්වාදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now