බිට්කොයින් කප්පම් කතාවටත් ශ්රීලන්කන්ගෙන් පිළිතුරක්
ශ්රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති වෙත හැකර් ප්රහාරයක් එල්ල වූ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන බව ශ්රීලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කළේ, පසුගිය ජූනි 29 වැනිදා සිය තොරතුරු තාක්ෂණ පද්ධතියට හැකර් ප්රහාරයක් එල්ල වූ බවට වාර්තා පළ වූ අවස්ථාවේදීම ඒ සම්බන්ධයෙන් විමර්ශන, තාක්ෂණික ඇගයීම් සහ පූර්වාරක්ෂක පියවර ක්රියාත්මක කළ බවයි.
එම පරීක්ෂණවලදී ගුවන් සේවයේ අභ්යන්තර තොරතුරු තාක්ෂණ පද්ධති හෝ මෙහෙයුම් පද්ධති වෙත අනවසරයෙන් ප්රවේශ වීමක්, දත්තවලට හානි සිදුවීමක් හෝ දත්ත අනවසරයෙන් ලබාගැනීමක් තහවුරු වී නොමැති බව ද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම, ගුවන් සේවයේ සේවාවන්ට හෝ මෙහෙයුම් කටයුතුවල අඛණ්ඩ පැවැත්මට බලපෑමක් සිදුව ඇති බවට ද කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ශ්රීලන්කන් ගුවන් සේවය පවසයි.
විද්යුත් තැපැල් සේවා ඇතුළු සියලුම පද්ධති සහ සේවාවන් සාමාන්ය පරිදි බාධාවකින් තොරව ක්රියාත්මක වූ බවත්, කිසිදු අවස්ථාවක ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතුවලට හෝ සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් සිදුව නොමැති බවත් එම සමාගම අවධාරණය කරයි.
මේ අතර, කිසිදු පාර්ශ්වයක් විසින් බිට්කොයින්, ඇමෙරිකානු ඩොලර් හෝ වෙනත් ආකාරයකින් කප්පම් මුදලක් ඉල්ලා නොමැති බව ද ශ්රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි. එවැනි මුදලක් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් ද සිදුව නොමැති බව එහි වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව, සිය තොරතුරු තාක්ෂණ පද්ධති වෙත අනවසරයෙන් ප්රවේශ වී ඇති බවට හෝ එම පද්ධති හැකර්වරුන්ගේ පාලනයට නතුව ඇති බවට පළ වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන බව ශ්රීලන්කන් ගුවන් සේවය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.