රාත්‍රි ආහාර වේලාව සකස් කරන්න පොල් ගෙඩියක් ගේන්න ගිය තරුණයෙකු මිය ගිය අවාසනාවන්ත සිදුවීම..
රාත්‍රී ආහාරවේල සකස් කිරීම සඳහා පොල් ගෙඩියක් ඇහිඳීමට ගිය තරුණයෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, කුණ්ඩසාලේ විදුරගේවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. එම නිවසේ පදිංචිව සිටියේ පියා, වැඩිමහල් පුතු සහ බාල දියණියයි. මව හැරගොස් ඇති මෙම නිවසේ පියාට කලාතුරකින් ලැබෙන කුලී වැඩකින් අඩුපාඩු සපුරා ගෙන තිබුණා.
ඔවුන්ට ඊයේ (25) රාත්‍රී වේල සරිකරගන්නට අවශ්‍ය ප්‍රමාණවත් අමුද්‍රව්‍ය මුළුතැන්ගෙයි තිබී නැහැ. බත් මුට්ටිය ලිපේ තැබූ පවුලේ වැඩිමහල් පුතු රාත්‍රී 8.30 ට පමණ නිවසින් බැහැරට යාමට තීරණය කර තිබුණේ, අසල ගෙවත්තේ තිබූ පොල් ගසකින් පොල් ගෙඩියක් බිමට වැටුණු බවට වූ ශබ්දයක් ඇසුණු නිසා.
සිය නැගණිය සමග නිවසින් බැහැරට ගිය මේ තරුණයා මෙම ගමන සිය අවසන් ගමන බව කිසි ලෙසකින්වත් සිතා නෑ. නිවසින් බැහැර වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ඔහු එක්වරම බිම ඇඳ වැටී තිබුණේ විදුලි සැර වැදීම හේතුවෙන්.
තරුණයා අනපේක්ෂිත ලෙස ගැටී තිබුණේ එම ප්‍රදේශයේ පිරිසක් ඌරන් සඳහා ඇටවූ විදුලි රැහැනකයි.
විදුලි සැර වැදීමෙන් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර මෙලෙස ජිවීතක්ෂයට පත්වුණේ 21 හැවිරිදි රාජ් කුමාර් නම් තරුණයෙක්.