ඊයේ සිදුවූ දුම් රිය අනතුර සම්බන්ධයෙන් සිදුවූ නවතම තොරතුර..
ඊයේ සිදුවූ දුම් රිය අනතුර සම්බන්ධයෙන් සිදුවූ නවතම තොරතුර ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධික වන අතර2004දී හික්කඩුව පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් පසු ලොව සිදුවූ බිහිසුණුම දුම්රිය අනතුර මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ මාරාන්තික දුම්රිය අනතුර සිදු වූයේ ඊයේ රාත්‍රී 7ට පමණක් වන අතර ෂාලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය කෙරෙන කොරමැන්ඩල් එක්ස්ප්‍රස් නම් දුම්රිය බලසෝර්හිදී පීලි පැනීමකට ලක්වීමෙන් එහි ප්‍රථම අනතුර සිදුවී තිබුණා.
දුම්රිය පීලිපැනීමත් සමග ඉන් ගැලවී ගිය මැදිරි ඊට සමාන්තරව දෙපසින් දිවෙන දුම්රිය මාර්ග දෙක මතට විසිවී ගොස් නතර වී තිබුණේ එහි නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටීමෙන් පසුවයි.
ඒ, සමගම යෙස්වාන්ත්පුර් සිට හොව්රා දක්වා ධාවනය වෙමින් පැවති හොව්රා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය, අධි වේගයෙන් පැමිණ අනතුරට ලක්වී තිබූ දුම්රිය මැදිරිවල ගැටී එහි දෙවන අනතුර සිදුවී තිබුණු අතර අනතුරට මුහුණ දුන් පුද්ගලයෙක් සඳහන් කර තිබුණේ, "මිනිස්සු 10ක් 15 ක් විතර මගේ ඇග උඩට වැටුණා. මම හැමෝටම යට වෙලා හිටියේ. මගේ අතයි බෙල්ල පිටිපස්සයි තුවාල වෙලා. එළියට ආවට පස්සේ මං දැක්කේ, සමහර අයගේ කකුල් නැහැ, සමහර අයගේ අත් නැහැ. සමහර අයගේ මුහුණු සම්පූර්ණයෙන් තුවාල වෙලා.
" අනතුරින් විපතට පත්වූ පිරිස මුදාගැනීමට සහන සේවා අංශ නිලධාරීන්ට සිවිල් වැසියන් ද සහාය වූ අයුරු දක්නට ලැබුණා. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර සැපයීමට අමතර වෛද්‍යවරුන් 100ක් පමණ යෙදවූ බව සඳහන් වන අතර එමෙන්ම ගිලන් රථ 200කට අධික ප්‍රමාණයක් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ තිබුණා. මේ වනවිට අනතුරින් වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 300 කට ආසන්න වනවා.
මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ඉන්දීය බලධාරීන් පවසයි. අනතුරින් පසු සුන්බුන් අතර තිබී සොයා ගත් මළ සිරුරු වසාදැමීමට අවශ්‍ය රෙදිවල හිඟයක් ද පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී, "ඊයේ රෑ ඉඳන් අපේ කණ්ඩායම් 6ක් මෙහෙයුම්වල නිරත වෙනවා. වෛද්‍ය කණ්ඩායම් වගේම සුනඛයන් අපි යොදවලා තියෙනවා. අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයින් මුදා ගෙන තියෙන්නේ. දැන් අපි මළ සිරුරු ඉවත් කරනවා."
මේ අතර අනතුර සිදුවූ ස්ථානයේ නිරීක්ෂණයට අද එරට දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් පැමිණියේය. ඔහු පැවසුවේ අනතුර පිළිබඳව විමර්ශනයට විශේෂිත කණ්ඩායමක් යොදවා ඇති බවය. ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා, "දැනටමත් විශේෂ කමිටුවක් පත් කරලා තියෙන්නේ. කමිටුව සම්පූර්ණ අනතුර පිළිබදව විමර්ශනය කරනවා. අනතුර සිදු වුණ හේතුව පිළිබදව විමර්ශනය කරනවා. තාක්ෂණික හේතුවක් නිසා ද අනතුර සිදු වුණේ කියන එක ගැන සොයා බලනවා.
දැන් සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට. තුවාල වෙලා ඉන්න අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන එකට තමයි වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ." අනතුරින් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් ශෝකය පළ කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් සටහනක් ද තබා තිබුණා ඔහු අද අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කර පසුව තුවාලකරුවන් රැඳී සිටින රෝහල් වෙතද ගියේය. එසේම මෙම බිහිසුණු දුම්රිය අනතුරත් සමග ප්‍රාන්තයට ශෝක දිනයක් නම් කර තිබෙනවා.
මෙය 21 වන සියවස තුළ ඉන්දියාවෙන් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුර ලෙස වාර්තා වන
එසේම මෙය 2004 වර්ෂයේ පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් පසු වාර්තා වූ ලොව දරුණුතම දුම්රිය අනතුර ද වනවා.
ඉන්දියාවේ මෙතෙක් සිදුවී ඇති දරුණුතම දුම්රිය අනතුර වාර්තා වී ඇත්තේ 1981 වසරේ දී වන අතර
එහිදී මිය ගිය පිරිස 800කට ආසන්න බව වාර්තාවල සඳහන්.