දරුණු අර්බුදය.. හමුවේ රජය ගත් තීරණය..
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මේ වනවිට රජය ආදාළ පාර්ශ්ව සමගින් කටයුතු කරමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරුණි
. "කිසිම ආණ්ඩුවක් කැමති නෑ තමන්ගේ රජය තියෙන කාලයේ ජනතාව පෝලිමේවල දුක්විඳිනවා දකින්න. හැබැයි මේ අර්බුදය 2020 වසර වනවිට උග්‍ර වුණා. ණය වාරික ගෙවාගන්න බැරි තත්ත්වයකට සංචිත අඩුවෙන්න හේතුව කොවිඩ් අර්බුදය.
2020/21 වසරවලදී පමණක් ඩොලර් බිලියන 10ක අවම මුදලක් අහිමි වුණා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් එකඟ වියයුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කරගෙන යනවා." කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, ප්‍රතිපත්ති සම්පාදනයේ යම් ප්‍රමාදයක් පවතින්නේ නම් ඒ පිළිබඳ වගකීම ආණ්ඩුව ගතයුතු බවය.
මාධ්‍යවේදියා - "ඇමතිතුමා මට දැනගන්න ඕනේ, රටක් අරාජික වුණාම තමයි තෙල් පෝලිම්, දිනෙන් දින බඩුමිල ඉහළ යාම වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ, දැන් රජයක් විදියට මැදිහත් වුණත් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබිලා නැහැ, මේකට වගකියන්න ඕනේ 69 ලක්ෂයද?, මොකද වැඩිපුරම බැණුම් අහන්නේ 69 ලක්ෂය"
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම - "69 ලක්ෂයේ නියෝජිතයින් අපි. ඒ පීඩනය වැඩිපුරම දැනෙන්නේ අපිට. ප්‍රශ්නයක් නැහැ කියලා අපහාස කරන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ පෝලිම් තිබෙනවා. උදාහරණ ගේන්න උත්සාහ කරන්නේ නැහැ. රටතුළ පීඩාකාරී සාධක ඉහළ අගයක් ගන්නවා. මේ සංවේදීභාවය ගිලිහෙන්නේ අපේ දේශපාලන නියෝජිතයින් විවිධ ප්‍රකාශ සිදු කිරීම හරහා. විදුලිය කැපීම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කළා. දේශපාලකයාගේ විශ්වසනීයභාවය ගැන ගැටලුවක්.
ගනු ලැබූ තීන්දු ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රමාදයක් පිළිබඳ වගකීම අපි ගන්නවා. ජනතාව පිඩා විඳීම පිළිබඳ තිබෙන්නෙ කනගාටුවක්. මමත් ඉන්ධන පෝලිමේ හිටියා."
මාධ්‍යවේදියා - "හෙට ජනාධිපතිවරයා ජාතිය අමතනවා. එතකොට කොහොමද විදුලිය කප්පාදු මඟහැරල ද සිදු කරන්නේ ?"
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම - "වෙලාව සහ අන්තර්ගතය පිළිබඳ එතුමාට තීරණය කිරීමට ඉඩදෙමු. කාටත් පහසු වෙලාවක සිදු කරයි"