මෙරට කර්මාන්තවලට ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ගෙන ඒමට සැරසෙයි

Sri Lanka
By Sithumi Apr 10, 2023 05:55 PM GMT
Report

මෙරට කර්මාන්ත සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ එසේ නොමැති අවස්ථාවල දේශීය කර්මාන්ත පවත්වාගෙන යාම ගැටළුවක් බවට පත් වන බවයි.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත ආංශික උපදේශන සභා 9 ක් සඳහා පත්කළ සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ රට තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට ආදේශන භාණ්ඩ රට තුළට පැමිණිම වැළැක්විය යුතු අතර එසේ නොවුනහොත් දේශීය කර්මාන්ත කඩා වැටීම වැළැක්විය නොහැකි බවයි.

කර්මාන්ත සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාවට නැංවීම රටේ මතයක් ලෙස ඉදිරියට ගෙන ඒමේ වගකීමක් කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට ද පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.