"ආ.... ඒ විතරක් නෙවෙයි, ඒ කාලයේදී මම ටිකක් ලොකු චිකන් කෑල්ලක් කද්දී ඒකත් පටිගත කරලා තිබුණා..."ලොවක් වසග කළ ලාංකීය ජැක්ලීන් ගැන ඔබ නොදත් දේ...(PHOTOS)

Jacqueline Fernandez Gagana news
By Subodha Mar 16, 2022 08:54 AM GMT
Report

ජැකලීන් ෆර්නැන්ඩස් කවුදැයි යනුවෙන් ශ්‍රී ලාංකීය ජනතාවට අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නොවේ.

සුරූපී ජැකලීන් යනු වත්මනෙහි ලොව දියුණුතම සිනමා කර්මාන්තය වන බොලිවුඩයට ගිය ශ්‍රී ලාංකීය සම්භවය ඇති ලෝ ප්‍රකට තාරකාවකි.

ලෝකයේ මෙන්ම ලංකාවේද බොහෝ සුරූපිනියන් බොලිවුඩ් හෙවත් ඉන්දීය හිංදි සිනමාවේ තරුවක් වීමට සිහින මවන බව කිව හැකිය.

එහෙත් ඒ සිහිනය ඉටුකර ගැනීමට ලැබීම නම් අතිශ්‍ය දුෂ්කර කටයුත්තකි. එනිසා ඒවා සිහින විතරක්ම වන බව සඳහන් කළ හැකිය.

ඒ අතින් සුරූපී ජැකලීන් ෆර්නැන්ඩස් යනු සැබෑම වාසනාවන්තියකි. බොලිවුඩ් සිනමා තිරය ජයගත් ඇය අද එහි සිටින සුරූපී තාරකාවකි.

රටවල් කීපයකට උරුමකම් කියන ජැකලීන් ජැකලීන් ෆර්නැන්ඩස් යනු ශ්‍රී ලාංකීය සම්භවය තිබුණ ද, රටවල් කීපයකට හිමිකම් ඇති කාන්තාවකි.

ජැකලීන් උපන්නේ 1985 අගෝස්තු 11 වැනිදා. බහරේන් රාජ්‍යයේ මනාමා නගරයේදීය.

තෙල් සම්පතින් පොහොසත්. බහරේන් රාජ්‍යයේ අගනගරය වන මනාමා යනු ලෝක සංචාරකයින් අතර පාරාදීසයකි.

ධන කුවේරයින් වෙසෙන ‘‘මනාමා’’ නගරයේදී ජැකලීන් උපන්නේ දරුවන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක බාල දරුවා ලෙසය.

සංගීත ශිල්පියකු වන ජැකලීන්ගේ තාත්තා එර්ල් ෆර්නැන්ඩස් ලාංකීය බර්ගර් ජාතික පුරවැසියෙකි.

ජැකලීන් ශ්‍රී ලාංකීය චරිතයක් වන්නේ පිය පාර්ශ්වයේ සම්භවය නිසාය.

එවකට සංගීත ශිල්පියකු ලෙස සක්‍රීයව කටයුතු කළ එරල් ෆර්නැන්ඩස් බහරේනයට සංක්‍රමණය වූයේ 80 දශකයේදී යැයි සඳහන් වේ.

එලෙසින් එදා ෆර්නැන්ඩස් පවුල බහරේනය බලා යාමට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලනික තත්ත්වය නිසා යැයි ඔවුන් පවසා ඇත.

ජැකලීන්ගේ අම්මා මලයාසියානු ජාතික කාන්තාවකි.

එවකට ඇය සේවය කළේ මැලේසියානු ගුවන් සේවයේය. ජැකලීන්ගේ පියා එරල්හට ඇය මුණගැසී ඇත්තේ ගුවන් චාරිකාවක් යන අතරවාරයේදීය.ඇයගේ නම ‘‘කිම්’’ය.

සුරූපී කිම් හෙවත් ජැකලීන්ගේ මව, කැනේඩියානු සම්භවයක් ඇති පරපුරකින් පැවත එන කාන්තාවකි.

සැමියාගේ සහ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කැපවීම උදෙසා ‘‘කිම්’’ ගුවන් සේවා රැකියාවට සමුදී තිබේ.

එර්ල් සහ කිම් යුවළට ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙකි.

ඒ අතරින් බාල දරුවා නොහොත් ෆර්නැන්ඩස් පවුල ‘‘තරු’’ පවුලක් බවට පරිවර්තනය කළ චරිතය ජැකලීන් වන්නීය.

‘‘ජැකී’’ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බහරේනයේ සිටය.

මූලික අධ්‍යාපනය ලබමින් සිටි ඇය රූපවාහිනී නිවේදිකාවක ලෙස එරටදී කටයුතු කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු 14දී යැයි සඳහන් වේ.

ඇයගේ අක්කාගේ නම ජෙරීය. අයියලා දෙන්නාගේ නම් වන්නේ රයන් සහ වොරන්ය.

‘‘මගේ තාත්තා නිතරම අපට විහිළු තහළු කරමින්, අපිට හොඳ යාළුවෙක් වුණා. ම​ගේ අයියලා දෙන්නා සහ අක්කා එක්ක ළමා කාලය ගත වුණේ හරිම ප්‍රිතියෙන්.

අම්මා ගැන කිව්වොත් ජීවිතයේ සෑම දෙයක්ම ග්‍රහණය කර ගන්න, ඉදිරියට යන්න මාව ඉස්සරහට තල්ලු කළේ එයා.

මම ඒ කාලයේ කළ කී දේ අම්මා රෙකෝඩ් කළා. අදටත් ඒ වීඩියෝ තියෙනවා.

නිවාඩු කාලයේදී අපි ගත කළ විදිය, ක්‍රීඩා ඉසව්වලට සහභාගි වූ අවස්ථා, පාසලේ සම්මාන ප්‍රදානෝත්සව, නත්තල් රාත්‍රී සම්භාෂණ අවස්ථා, චිත්‍රපට නැරඹූ අවස්ථා මේ ඔක්කෝම ඇය පටිගත කරලා තියෙනවා.”

‘‘ආ.... ඒ විතරක් නෙවෙයි, ඒ කාලයේදී මම ටිකක් ලොකු චිකන් කෑල්ලක් කද්දී ඒකත් පටිගත කරලා තිබුණා.

ඇය නිතරම කිව්වේ මම හරි ප්‍රියමනාපයි, ලස්සනයි කියලයි. ඇත්තටම කිව්වොත් අපේ අම්මා හරි ලස්සන, සුන්දර, ඒ වගේම හොඳ හදවතක් තියෙන කාන්තාවක්.

ඒ වගේම ලස්සන පවුලක ලස්සන ගෙදරක සාමාජිකයකු වීම මට ලොකු සතුටක් ඇය කියන්නීය.

ජැකලීන්ගේ ලස්සන තාරුණ්‍යය ළමා කාලය ගැන ලස්සන මතකයක් ඇති ‘‘ජැකී’’ ඒ මතක මුදාහැරියේ ඇයගේ ‘‘යූ ටියුබ්’’ චැනලය ඇරඹිදාය.

ජැකලීන්ගේ ‘‘තරු’’ හැකියාව මුලින්ම හඳුනා ගත්තේ ඇයගේ මව යැයි කිව හැකිය.

කුඩා කාලයේ සිටම මව ‘‘ජැකීව’’ විවිධ දේට යොමු කළේ ඒ නිසා විය හැකිය.

ප්‍රථම වතාවට මම නිරූපණය වෙනුවෙන් වේදිකාවට ආ දවසේ, ඒ නිරූපණ අවස්ථාවෙන් පසුව අම්මා මට කිව්වේ, එතැන හිටපු අනෙක් ඔක්කොම ගැහැනු ළමයින්ට වඩා මම ලස්සනයි කියලයි.

යුවතියකව සිටි අවදියේදී එක්තරා නිරූපණ ​ඉසව්වකට සහභාගි වූ මතකය ජැකී ආවර්ජනය කළේ එලෙසිනි.   

 සුරූපී ජැකී හට අද වන විට භාෂා, කීපයක්ම කතා කිරීමේ හැකියාව තිබේ. 

ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, මලයාලම්, හිංදි සහ ඉංග්‍රීසි ඇය චතුරව හසුරුවන බව කිව හැකිය.

ඇය බොලිවුඩ් තරුවක් වීමට එකී හැකියාවන්ද ඉවහල් වූ බව නිසැකවම කිව හැකිය.

‘‘ජැකලීන්’’ ලෝකය ස්පර්ශ කළේ, ඉන්දියාවේ සිට වුවද, ඇයගේ තරු ගමන ආරම්භ කළේ පුණ්‍ය භූමියක් වන ශ්‍රී ලංකාවේ සිටය.

ඇයගේ තරු ගමනේ වාසනාවන්ත ඇරඹුම ශ්‍රී ලංකාවය.

2006ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ රූපවාහිනී වැඩසටහන් කරමින් නිරූපණ කටයුතුවල නියැලෙමින් සිටි ජැකී 2006 ශ්‍රී ලංකා රූ රැජින තරගයට ඉදිරිපත් වූවාය.

‘‘එදා මට මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රූ රැජින තරගය ජය ගැනීමට හැකිවීමත්, වයස 21 පසුවූ මට ඒ සමග විශ්ව රූ රැජින තරගය නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා.

එහිදී මට ජයක් නොලැබුණත්, මගේ ඉදිරි ගමන සඳහා වූ ශක්තිමත් පදනමක් ඒ නිසා ලැබූ බව කියන්න පුළුවනි.

ඒ වගේම මට හොඳ අධිෂ්ඨානශීලී බවක් ඇති වුණා."

එසේ අතීතාවර්ජනය කරන ජැකී හට, බොලිවුඩ් තරුවක වීමේ සිහිනය තිබී ඇත්තේ ඇය ළමා අවදියේ සිටය.

ඒ සිහිනය මල්ඵල දැරුවේ 2006 ශ්‍රී ලංකා රූ රැජින වී පසුව 2009 වසරේදී නිරූපණ ඉසව්වක් වෙනුවෙන් ඉන්දියාවට යාමට ලැබීමත් සමගය.

එහිදී නිරූපණ අවස්ථාවට පමණක් පෙනී නොසිටි ඇය, ජනප්‍රිය වේදිකා හා රංගන ගුරුවරයකු වන බැරී ජෝන් යටතේ රංගනය ගැනද යමක් ඉගෙනීමට උනන්දු වූවාය.

එයින් පසුව විනෝදාත්මක තේමාවක් රැගත් ‘‘සුජෝව් ගෝෂ්ගේ’’ අැලඩින් චිත්‍රපටයේ බඳවා ගැනීමේ පරීක්ෂණයට සහ පුහුණුව සඳහා ඇයට අවස්ථාව හිමි වුණා.

ඇයගේ බොලිවුඩ් සිහිනය සැබෑ වූවා පමණක් නොව, ඇයගේ සිහින කුමරකු වූ රිකේෂ් දේශ්මුක් සමග ඇලඩින් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබීමට තරම් ඇය වාසනාවන්තියක වූවාය.

මේ සියල්ලට පෙර ඇය රංගනයෙන් මුල් වරට පෙනී සිටි අවස්ථාවන් ගැන සඳහන් කළ යුතුමය.

2006 භාතිය සහ සන්තුෂ්" අශාන්ති සහ රන්ධීර් සමග මුදාහැරි හිංදි ගී නිර්මාණයක් වන ඕසාති (Oh Sathi) මියුසික් වීඩියෝව. එහි රංගනයට, ලෝ ප්‍රකට සනත් ජයසූරි, චමින්ද වාස් සමග ජැකලීන් පෙනී සිටි වග සඳහන් කළ හැකිය.

‘‘ඇලඩින්’’ චිත්‍රපටයට පෙර ජැකීගේ රංගනයක් දැක ගත හැකි වූයේ නම් ඒ භාතිය-සන්තුෂ් හදා ඉදිරිපත් කළ එම මියුසික් වීඩියෝවය.

ඇලඩින් චිත්‍රපටයේ ඇය රඟපෑවේ ජෙස්මින් කුමරිය යන චරිතයයි.

ඉනික්බිතිව ඇය කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ආකර්ශනයට නතු වූ බොලිවුඩ් සිනමාවේ ආදායම් වාර්තා තැබූ, හවුස්ෆුල්, මර්ඩර් - 2, ​රේස් - 2, කික්, රෝයි, බ්‍රදර්ස්, හවුස් ෆුල් - 3 ඇතුළු චිත්‍රපටවල රංගනයන්ට දායක වෙමිනි.

එහිදී බොලිවුඩ් අවතීර්ණය උදෙසා, සම්මාන උළෙලවලදී ඇය සම්මානයටද පාත්‍ර වූවාය.

2015 දී Definition of Fear යන බ්‍රිතාන්‍ය චිත්‍රපටයේ රඟපෑ ජැකී, චන්දන් රත්නම්ගේ According to Matthew චිත්‍රපටයේද රඟපාමින් ඇයගේ කුසලතා පෙන්වීය.

ඉන්පසු රූපවාහිනී වැඩසටහන්වලට තරග තීරකවරියක ලෙස ද ආරාධිත චරිතය ලෙස ද සහභාගි වී එකී ප්‍රේක්ෂකයන්ගේද ආදරය දිනාගත් ජැකී ඒ දක්වා කළ දේ වෙනුවෙන් සම්මාන රැසක් තම රාක්කයේ පුරවා ගත්තේ, වැඩි කාලයක් නොගොසිනි.

උපුටා ගැනීම - ලංකාදීප



ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery