උණ හැදිලා රෝහල්ගත වුණා.. සත්‍යග්‍රහයේ නොඇසුණු කතාව ධම්ම නිපුන හිමි හෙළි කරයි

Galagoda Aththe Gnanasara Thero Latest Headlines Sinhala news Puwath.lk Arrest
By R.rishma Oct 27, 2026 02:04 PM GMT
Report

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ අරමුණින් පැවති පාගමනට සහයෝගය ලබාදුන් සියලු දෙනාට සිය ස්තූතිය පළ කරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ මාලබේ ධම්ම නිපුන හිමියන්, පතනකන්ද ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවරයා ලෙස, තමන් වහන්සේ ඇතුළු ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් වැඩම කළ බව සඳහන් කළහ.

මෙම මාධ්‍ය හමුව පැවැත්වීමේ අරමුණ වූයේ පාගමන සඳහා දායකත්වය ලබාදුන් සහ විවිධ අයුරින් උපකාර කළ සියලු දෙනාට ස්තූතිය පළ කිරීම බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. මෙම කටයුත්තට සහභාගි වන ලෙස තමන් වහන්සේලාට ආරාධනා කළේ බලංගොඩ කස්සප හිමියන් බවත්, ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා ඊට සහභාගි වූ බවත් සඳහන් කළහ.

පාගමන අතරතුර භික්ෂූන් වහන්සේලාට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වූ බවත්, ඇතැම් භික්ෂූන් වහන්සේලා රෝගාතුර වී උණ රෝගය හේතුවෙන් රෝහල්ගත කිරීමට පවා සිදු වූ බවත් ධම්ම නිපුන හිමියෝ පැවසූහ.

එම අවස්ථාවලදී සරත් වීරසේකර මහතා වෛද්‍යවරුන් ගෙන්වා ප්‍රතිකාර සහ උපස්ථාන ලබාදීමට කටයුතු කළ බවත්, ඒ සඳහා මුදල් වියදම් කරමින් සහාය දැක්වූ බවත් උන්වහන්සේ සඳහන් කළහ. වස්සාන සමයේදී දුෂ්කරතා මධ්‍යයේ වැඩම කළ භික්ෂූන් වහන්සේලාට බලංගොඩ කස්සප හිමියන්ගේ කැපවීම විශාල ශක්තියක් වූ බවද ප්‍රකාශ කළහ.

අධිකරණ නියෝගයක් ලැබීමෙන් අනතුරුව තමන් වහන්සේලා විහාරමහාදේවී උද්‍යානයට පැමිණි බව සඳහන් කළ ධම්ම නිපුන හිමියෝ, විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම කටයුතුවලට සහභාගි වූයේ කැමැත්තෙන් බව පැවසූහ. එම කාලය තුළ අඛණ්ඩව වර්ෂාව පැවති බවත්, සිවුරු තෙමීම ඇතුළු දුෂ්කරතා මධ්‍යයේ වුවද දෛනික බුද්ධ වන්දනා කටයුතු සිදුකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ. එම කාලසීමාව තුළ කස්සප හිමියන් විවිධ සංවිධාන කටයුතු සඳහා විශාල කැපවීමක් කළ බවත්, ඇතැම් අවස්ථාවලදී නිසි පරිදි දානය ලබාගැනීමට හෝ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට පවා නොහැකි වූ බවත් උන්වහන්සේ පැවසූහ. දැඩි වෙහෙස සහ උණ රෝගය හේතුවෙන් කස්සප හිමියන් පීඩාවට පත්වූ අවස්ථාවක උපාසිකාවක විසින් සළුවක් පූජා කළ බවද සඳහන් කළහ.

කස්සප හිමියන්ට පහසු ස්ථානයකට වැඩම කර විවේක ගන්නා ලෙස දායක පිරිස් අවස්ථා කිහිපයකදී යෝජනා කළද, උන්වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළ බවද ධම්ම නිපුන හිමියෝ පැවසූහ.

සත්‍යග්‍රහය නතර කිරීමට තීරණය කළේ මහානායක හිමිවරුන්ගේ දැනුම්දීම අනුව බවත්, උන්වහන්සේලාගේ උපදෙස්වලට ගරු කරමින් එම ස්ථානයෙන් ඉවත් වූ බවත් ධම්ම නිපුන හිමියෝ ප්‍රකාශ කළහ. ආගමික නායකත්වයේ උපදෙස්වලට අවනත වෙමින් මෙම තීරණය ගත් බව සඳහන් කළ උන්වහන්සේ, පාගමනට සහ සත්‍යග්‍රහයට සහයෝගය දැක්වූ සියලු දෙනාට නැවතත් සිය ස්තූතිය පළ කළහ.