ශ්‍රී ලංකාව එෞතිහාසික ගිවිසුමකට අත්සන් තබයි..

Sri Lanka Political Indian Udaya gammanpila Oli tanks Sings agreement
By Aruna Jan 07, 2022 03:15 AM GMT
Report

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

අදාළ ගිවිසුමට භාණ්ඩාගාර ලේකම්වරයා, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එල්.අයි.ඕ.සී. සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම අතර ඊයේ සන්ධ්‍යාවේ අත්සන් තැබුණු බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දීය පාලනයේ පැවති තෙල් ටැංකි 99න් 85ක් ශ්‍රී ලංකාවේ පාලනයට නතු වන බව යි.

අදාළ ගිවිසුම ලබන 18 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ලබන අඟහරුවා දා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියේ එය පළ කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ ව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත කරනු ලැබූ සමාගමක් මගින් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කෙරෙන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක ආයෝජනයක් සිදු කෙරෙනවා.

ලංකා අයි. ඕ. සී. සමාගම දැනට භාවිතයට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ම එම ව්‍යාපාර කටයුතු සඳහා තවදුරටත් වෙන් කිරීමට නියමිත යි.

එමෙන්ම ඉතිරි තෙල් ටැංකි 61 ඒකාබද්ධව සංවර්ධනය කෙරෙන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මගින්.

එහි 51%ක කොටස් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන අතර, 49%ක කොටස් අයිතිය හිමිවන්නේ ලංකා අයි.ඕ.සී. සමාගමටයි.

ඒ සඳහා මූලික ආයෝජනය ඩොලර් මිලියන 60ක් පමණ වන බවයි ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් පෞද්ගලික සමාගම හරහා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි ඉන්දියාවට බදුදීමට එරෙහි ව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now