හොංකොං පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Rugby India Hong Kong Latest Headlines Sinhala news
By Shehan Aug 09, 2025 05:04 AM GMT
Report

ඉන්දියාවේ දී අද (9) ආරම්භ වූ වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික ආසියානු රග්බි ශූරතාවේ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 24- 19ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග 'A' කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකාව එහි පෙරමුණට පැමිණියේය. ශ්‍රී ලංකාව අද දිනයේ දී තවත් තරග දෙකකට ක්‍රීඩාකරන අතර, ඉන් අනෙක් තරගය සත්කාරක ඉන්දියාවට එරෙහිව ප.ව. 12.45 ක්‍රීඩා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ප.ව. 3.40ට ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ඇත. බිහාර් ප්‍රාන්තයේ රාජ්ගිර් හිදී පැවැත්මෙන මෙම තරගාවලිය හෙටින් (10) අවසන්වීමට නියමිතය. කාන්තා හා පිරිමි දෙයංශයෙන්ම පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක ලෙස ශාහිඩ් සුම්රි කටයුතු කරන අතර, කාන්තා කණ්ඩායමට මිනෝලි ජූඩ් නායකත්වය ලබා දේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගය අද පෙ.ව. 11.05ට ආරම්භ වන අතර, එහිදී ඔවුන් චීනය සමගින් තරගවැදීමට නියමිතය.